››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැලේසීයාවේ දී දර්ශනීය තොරණක් ඉදිකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැලේසීයාවේ දී දර්ශනීය තොරණක් ඉදිකරයි

[2018/05/30]

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මැලේසියාවේ, ක්වාලා ලාම්පූර් බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ විහාරයේ දී ඉදිකරන ලද දර්ශනීය වෙසක් තොරණ පසුගිය සෙනසුරාදා (මැයි 26) දින සිට ප්‍රදර්ශනය කරන බව යුද්ධ හමුදා නිල වෙබ්අඩවිය පවසයි. මෙම වෙසක් තොරණ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා බලකාය (CES) විසින් ඉදි කරන ලදී.

මැලේසියාවේ බෞද්ධ මහා විහාරය සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්ව මැයි මස 26 දින සිට ජුනි මස 1 දින දක්වා බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාර පරිශ්‍රයේ දී 2018 ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරනු ලබයි.
ශ්‍රී ලංකා රජය සහ මැලේසීයාව අතර තිබෙන වසර 60 ක රාජ්‍යත්‍රාන්තික සබඳතා තවත් ශක්තිමත් කරමින් ඉදිකරන ලද මෙම වර්ණවත් තොරණෙහි ‘කුණ්ඩලකේෂි’ ජාතක කතාව විදහා දැක්වේ. එය උසින් අඩි 60 ක් ද පළලින් අඩි 50 ක් ද වන අතර වර්ණවත් විදුලි බුබුලු 35,000 කින් ආලෝකමත්කර ඇත.

තොරණ ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, උපකරණ සහ යකඩ ව්‍යුහයන් මැලේසීයා වෙත ගෙනයාමට අවශ්‍ය නාවික පහසුකම් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් සැපයීම සඳහා මැලේසීයාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සාදර අනුග්‍රහය ලැබිණි. බෞද්ධ මහා විහාරයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා බැතිමතුන් 100,000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

මීට අමතරව සතියක් පූරාවට මැලේසීයාවේ පැවැත්වෙන මෙම වෙසක් උත්සවයේ දී යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සාමාජිකයින් සිය සංස්කෘතික හා කලාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීමටද නියමිතය.

මෙම වෙසක් තොරණ සෙනසුරාදා (මැයි 26) දින මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ.ජේ.එම් මුසාම්මිල් මැතිතුමන් විසින් විවෘත කරනු ලැබීය.

ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා මේජර් ජෙනරාල් ජගත් රත්නායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ෆරීස් යූසුෆ් ද යුද්ධ හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

     


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ