››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජාතික පරිසර සතියට සමගාමීව නාවික හමුදාව විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ජාතික පරිසර සතියට සමගාමීව නාවික හමුදාව විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

[2018/06/04]

පසුගිය සතිය පුරා නාවික හමුදාව විසින් පරිසර ආරක්‍ෂණ හා පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. මැයි මස 30 දින සිට ජූනි 05 දක්වා වූ ජාතික පාරිසරික සතියට සමගාමිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබිය.

ජුනි මස පස්වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමිව මෙම ජාතික පරිසර සතිය නම්කර ඇත.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහනකට නාවික හමුදා සහාය ලබාදෙන ලදී. මේ සඳහා යුද්ධ හමුදා හා ගුවන් හමුදා නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින්, විශ්ව විද්‍යාල සිසුන් සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව නියෝජනය කරමින් 700 කට අධික පිරිසකට සහභාගී විය. මෙම වැඩසටහන මගින් කලපුවෙහි පරිසර පද්දතියට තර්ජනයක් එල්ලවිය හැකි නොදිරන ප්ලාස්ටික්,පොලිතින් ඇතුළු කුණුරොඩු සහ නොගැඹුරු මුහුදේ පාවෙමින් තිබු විවිධ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

මේ අතර පසුගිය සෙනසුරාදා (ජූනි 02) තවත් නාවික හමුදා භටපිරිසක් විසින් ගාලු මුවදොර ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඉතා ජනප්‍රිය ස්ථානයක් වන ගාලු මුවදොර පිටියට දිනපතා දේශිය හා විදේශිය සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර එම හේතුවෙන් මෙම ස්ථානය තුල කැලිකසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් එකතු වේ.

මෙසේ එකතුකරන ලද පොලිතින් හා ප්ලාස්ටික් තොග නාවික හමුදාව විසින් මට්ටක්කුලිය, කාක දුපතේ පවත්වාගෙන යනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, එමඟින් විසිතුරු භාණ්ඩ, මල් පෝච්චි, කම්බි කණු සහ උද්‍යාන ඇතුරුම් ගඩොල් සකස් කිරීම ආදි උසස් නිෂ්පාදන නිපදවීමට කටයුතු කරනු ලබයි.

ඊට පසු දින එනම් ජුනි මස 3 වනදා නාවික හමුදාව, යුද්ධ හමුදාව සහ සිංහ සමාජය එක්ව මට්ටක්කුලිය, කාක දුපත ආශ්‍රීත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

තවද, නාවික හමුදා භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ඇතුළු වරාය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් හා සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමග එක්ව කටයුතු කරන ලදී.

     


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ