››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

කිලිනොච්චි හමුදා භටපිරිස් 'ශ්‍රමදාන' මාලාවක් සංවිධානය කරයි

කිලිනොච්චි හමුදා භටපිරිස් 'ශ්‍රමදාන' මාලාවක් සංවිධානය කරයි

[2018/07/11]

 

කිලිනොච්චියේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ ජනතාව සමග අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරගැනීම සඳහාත් ඔවුන්ගේ පොදු කටයුතු වලට සහාය වීම සඳහාත් පසුගිය සතියේ ශ්‍රමදාන මාලාවක් සංවිධානය කල බව යුද්ධ හමුදා නිල වෙබ්අඩවිය පවසයි. කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකහි 150 කට අධික භටපිරිසක් පසුගිය 5 වනදා සිට 7 වනදා දක්වා විවිධ ස්ථානයන්හි පවත්වන ලද ශ්‍රමදාන වැඩසටහන් සඳහා සහභාගී වන ලදී.

ඒ අනුව එක් ශ්‍රමදාන වැඩසටහනක් කන්සපුරම් පුල්ලෙයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ද, තවත් ශ්‍රමදාන වැඩසටහනක් කොඩ්ඩෙකඩ්ඩියාර්කුලම් සිට අම්බලපෙරුමාල්කුලම් දක්වා දිවෙන මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ද යොදවන ලදී. තවද ඔඩ්ඩරුත්තුක්කුලම් හි ‘රදම්’ පෙර පාසල සහ එහි අවට පිරිසිදු කිරීම සඳහා තවත් එවැනිම ශ්‍රමදාන වැඩසටහනක් ද පැවැත්විණි.

ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මෙවැනි සුභසාධන වැඩසටහන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් නිරන්තරයෙන් සංවිධානය කරනු ලබයි. බොහෝ අවස්ථාවන්හිදී මෙසේ ආරක්‍ෂක හමුදාවන් විසින් සිදුකරනු ලබන ආධාර උපකාර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ ඉමහත් පැසසුමට ලක්වේ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ