››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් මෙහෙයුම ‘Critical Engagement’ පැවැත්විණි

දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් මෙහෙයුම ‘Critical Engagement’ පැවැත්විණි

[2018/09/27]

ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කල ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ ක්‍ෂේත්‍ර පුහුණු යුධ අභ්‍යාසය වන දියකාවා පුහුණු අභ්‍යාසය IX - 2018' හි අවසන් අදියර වන ‘Critical Engagement’අභ්‍යාසය ත්‍රිකුණාමලයේ කුච්චවේලි හිදී ඊයේ (සැප් 26) දින අවසන් විය. ඊයේ සවස පැවති මෙම අභ්‍යාසයේ අවසන් අධියර දැක බලාගැනීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගී විය.

මෙම පුහුණු යුද අභ්‍යාසයේදී භටපිරිස් ගුවනින්, දියෙන් සහ ගොඩබිමෙන් සතුරු කඳවුරු වෙත බහුවිද ප්‍රහාරයක් එල්ල කිරීම සිදුවිය. මෙම පුහුණු අභ්‍යාසය කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකාය එක්ව නාවික හමුදා යාත්‍රා, MI 24 සහ මිග් ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගෙන සිදුකරන ලදී.

සැප්තැම්බර් මස 06 වන දින ආරම්භ වූ මෙම අභ්‍යාසය නැගෙනහිර, මධ්‍යම, බස්නාහිර සහ උතුරුමැද පළාත් ආවරණය කරමින් පවතී අතර ඒ සඳහා යුධ හමුදා භටපිරිස් 2500 ක්, නාවික හමුදා භටපිරිස් 400 ක් සහ ගුවන් හමුදා භටපිරිස් 200 ක් සහභාගී විය. මීට අමතරව රටවල් 19 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින් 64 දෙනෙකු ද මේ සඳහා සහභාගි වූහ.

මෙම පුහුණු අභ්‍යාසය සාර්ථකව පැවැත්වීම පිළිබඳව සිය සුභ පැතුම් එක්කරමින් පණිවිඩයක් නිකුත්කර ඇති අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, මෙවැනි පුහුණුවීම් තුලින් දැනුම සහ හැකියාවන් වර්ධනය වෙනවා මෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වල වර්ධනයට උත්ප්‍රේරකයක් වනු ඇති බවද එතුමන් වැඩිදුරටත් සඳහන් කර ඇත. තවද විදේශීය නියෝජිතයන්ගේ සහභාගිත්වය පිළිබඳවද එතුමන් සිය ස්තුතිය පුදකර ඇත.

නව වන වරටත් පවත්වන ලද මෙම වාර්ෂික පුහුණු අභ්‍යාසය සඳහා ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, චීනය, ප්‍රංශය, ජපානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, නයිජීරියාව, පකිස්තානය, රුසියාව, සිංගප්පූරුව, සුඩානය, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය හා සැම්බියාව යන රටවල් නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින් පිරිසක් සහභාගී විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි, රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහි සම්මාන ප්‍රදානෝත්සවය අද (සැප් 27) දින පැවැත්වීමට නියමිතය.

     
     
     
     


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ