››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුද හමුදාවේ සංවත්සර සැමරුම ආගමික වතාවත් වලින් ආරම්භ වේ

යුද හමුදාවේ සංවත්සර සැමරුම ආගමික වතාවත් වලින් ආරම්භ වේ

[2018/10/02]

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරය ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබේ. සංවත්සර දිනය සැමරීමට පෙර ආගමික වතාවත්වලට ප්‍රමුඛතාව දෙමින් සිදුකරනු ලබන යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීමේ බහු ආගමික ආශීර්වාද පුජාවන් මේ වනවිට ආරම්භ කර ඇති බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

පසුගිය සැප්තැම්බර් මස 28 වන දින උදෑසන පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි ආගමික වතාවත් සිදුකරමින් මෙම උත්සව මාලාව ආරම්භ කරන ලදී. මෙහිදී බෝධි පූජා පින්කමක් සහ දානමය පුන්‍යකර්මයක් සිදුකරන ලදී.

තවද සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික ‍අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා (ඔක් 01) දින සිදුකරන ලදී. මෙම උත්සව දෙකම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ක්‍රිස්තියානි දේව මෙහෙය අද (ඔක් 02) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර ඉස්ලාම් ආගමික ආශීර්වාද යාඥාව කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා පල්ලියේදී හෙට (පක් 03) පැවැත්වීමට නියමිතය. තවද හින්දු ආශීර්වාද පූජාව කොළඹ 13, ශ්‍රී පොන්නම්බලම් වානේශ්වර් කෝවිලේදී ලබන බ්‍රහස්පතින්දා (ඔක් 04) පැවැත්වීමට නියමිතය.

1949 ඔක්තෝබර් මස ස්ථාපිත කරන ලද යුද්ධ හමුදාව මේ වනවිට රෙජිමේන්තු 24 කින් සමන්විත වේ. දශක තුනක් තිස්සේ රට පිඩාවට පත්කළ කුරිරු ත්‍රස්තවාදය තුරන් කර දැමීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඇති විශාල මෙහෙයක් ඉටු කළේය. 2009 මානුෂීය මෙහෙයුම අවසානයත් සමඟම, ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා තම විශේෂඥභාවය, ශ්‍රමය සහ යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් රටට මහඟු සේවයක් සිදුකරමින් සිටි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ