››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහාය

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහාය

[2018/10/09]

විපතට පත් ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට ඩිංගි යාත්‍රා 07 ක් සහ හදිසි මුදවාගැනීමේ යාත්‍රා 02 ක් සහිත නාවික සහන කණ්ඩායම් 10 ක් යොදවා ඇත. නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU), විශේෂ යාත්‍රා බලඝණය සහ නාවික හමුදා කිමිදුම් අංශය ට අනුයුක්ත නාවිකයින් මේ වන විට සහන මෙහෙයුම් සඳහා යොදවා ඇත.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, ඉමදුව සහ හිනිදුම යන ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 04 ක් යොදවා ඇති අතර, කළුතර දිස්ත්‍රික්ක‍යේ මතුගම, වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශයේ ද ආපදා සහන කණ්ඩායම් 06 ක් යෙදවිමට නාවික හමුදාව කටයුතු යොදා ඇත. එමෙන්ම, ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, අගලිය පාලම හරහා කුණු රොඩු එකතු වී ජලය බැසයාම අවහිර වීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා නාවික හමුදා භටපිරිස් යොදවා එය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

මේ වනවිට 48,900 කට අධික පිරිසක් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ දක්වා පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව එක් අයකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇත. එමෙන්ම 5,800 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත. ජලාශ කීපයක ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒවායෙහි වාන් දොරටු විවුර්ත කිරීමටද සිදුවී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු වලක්වාගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ