››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ආපදා සහන කටයුතු දිගටම

ආපදා සහන කටයුතු දිගටම

[2018/10/10]

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයට බලපෑ බෙන්ගාල බොක්කෙහි වර්ධනය වූ "ටිට්ලි"සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් වයඹ දෙසට වන්නට ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ මුහුදු තිරය දෙසට ගමන් කරමින් පවතින බව අද (ඔක් 10) දහවල් දොළහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම වාර්තාවෙන් දැක්වේ.

පසුගිය සතිය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර, දැඩි සුළං සහ නාය යෑම් ඇති විය. මේ හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල පිඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා සහ නාවික හමුදා සහන කණ්ඩායම් යුහුසුළුව ක්‍රියාත්මක වන ලදී.

මේ වනවිට නාවික හමුදාව කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම, වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රදේශ වලද, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ, තවලම, හිනිදුම, අවිත්තාව සහ වක්වැල්ල යන ප්‍රදේශ වලද, මාතර දිස්ත්‍රික්කයේ කටුපොත හා අකුරැස්ස යන ප්‍රදේශ වලද, කොළඹ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශයේද සිය සහන කණ්ඩායම් 14 ක් සමග ඩිංගි බෝට්ටු 11 ක් සහ හදිසි මුදවාගැනීමේ යාත්‍රා 02 සහන සැලසීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇත.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ අවිත්තාව පාලම අසල කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. සහන කණ්ඩායම් ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ජලය බැස යාම කඩිනම් කිරීමට කටයුතු කරන ලදී.

මේ අතර පසුගිය ඉරිදා (ඔක් 07) බිංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළමුනේ ඔයෙහි බැම්ම බිඳියාම අවධානමක් ඇති බව සැලවීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්නා ලදී. එහිදී භටපිරිස් විසින් බිඳිගිය බැම්මේ වැලිකොට්ට අතුරා බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

යුද්ධ හමුදා සහ නාවික හමුදා සහන කණ්ඩායම් එක්ව ආපදාවන්ට ලක්වූ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීම, ගංවතුරට ගොදුරු වූවන්ට පිසූ ආහාර, ජලය හා අනෙකුත් අවශ්‍යතා සැපයීම, කැඩී ගිය වැව් බැමි නැවත පිළිසකර කිරීම, අවහිර වූ පාලම බෝක්කු ශුද්ධ පවිත්‍ර කිරීම, අවහිර වූ මාර්ග ගමනාගමනයට සුදුසු පරිදි නැවත සකස් කිරීම සහ අනෙකුත් ආපදා සහන සේවා සැපයීම සිදුකරනු ලබයි.

ඊයේ (ඔක් 09) සවස වනවිට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 71,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබේ. කළුතර, රත්නපුර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවල මරණ 9 ක් වාර්තා වී ඇත. මේ හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර 2000 කට අධික නිවාස ප්‍රමාණයකට හානි සිදුවී ඇත.

දිවයිනේ නිරිතදිග කොටසෙහි පවත්නා වැසි තත්ත්වය හෙට සිට අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.
දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල ද කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි අපේක්ෂා කළ හැකි අතර බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමු පළාත්වලට පැයට කිලෝ මීටර් 50 ක පමණ තද සුළං බලපෑ හැකි බවද පැවසේ.

අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටී.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ