››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නව ආරක්ෂක ලේකම් සිය රාජකාරි අරඹයි

නව ආරක්‍ෂක ලේකම් සිය රාජකාරි අරඹයි

[2018/10/31]

ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස පත් වූ හේමසිරි ප්‍රනාන්දු මහතා අද (ඔක් 31) දින අමාත්‍යංශයේ පැවති චාම් උත්සවයකදී සිය රාජකාරි ආරම්භ කළේය.

නව ලේකම්වරයාට අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී අතිරේක ලේකම් ආර්පිආර් රාජපක්‍ෂ මහතා විසින් එතුමන් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව නව ලේකම්තුමන් සිය නිල කාර්යාලයේදී රාජකාරි භාරගනිමින් නිල ලේඛනයකට අත්සන් කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන් විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඊයේ (ඔක් 30) දින පත් කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජේෂ්ඨ අමාත්‍යංශ නිලධාරීන්, අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානින් සහ අමාත්‍යංශ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විශාල පිරිසක් සහභාගී විය.

ආරක්‍ෂක ලේකම් ධුරයට අමතරව ප්‍රනාන්දු මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ද හොබවයි.

හේමසිරි ප්‍රනාන්දු මහතා මිට පෙර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ , මහජන බැංකුවේ සහ ගුවන් තොටුපල හා ගුවන්සේවා අධිකාරියේ සභාපති, තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා වැනි අතිශය වැදගත් තනතුරු රැසක් දරා ඇත. තවද එතුමන් දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාද විය.

ප්‍රනාන්දු මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඔහු 1971 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගෙන ඇත.

උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුනු ඔහු වසර 15 ක් පමණ එහි සේවය කර ඇත. නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා විට ඔහු කමාන්ඩර් නිලයෙහි රාජකාරි කරනු ලැබිය.

දක්‍ෂ ක්‍රිඩකයෙකු ද වන ප්‍රනාන්දු මහතා විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද විය. ජාතික වෙඩි තැබීමේ ශූරයකු වශයෙන් ඔහු 1982 දී නව දිල්ලියේ පවතී ආසියානු ක්‍රිඩා උළෙලට ද සහභාගී විය.

ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සිවිල් පරිපාලකයෙකු හා නිවැරදි තීරණ ගන්නා නායකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු රාජකාරි කල සෑම ආයතනයක්ම නිවැරදි දිගුදුර දැක්මක් ඇති මනා සැලැස්මක් සහිතව කැපවීමෙන් කටයුතු කර, එම ආයතන දියුණු කිරීමට කටයුතු කර ඇත.

 


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ