››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය

[2019/01/10]

සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණු අතර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊට අත්සන් තැබූහ.

වකුගඩු රෝගයට අවසාන ප්‍රතිකාරය ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ වකුගඩු බද්ධකිරීම හෝ රුධිර කාන්දුකරණයට ලක් කිරීමයි. එසේ වුව ද වකුගඩු බද්ධකිරීම සඳහා ගැළපෙන වකුගඩුවක් සොයාගැනීම ඉතා අපහසු කරුණකි. දැනට මේ සඳහා පවතිනුයේ පවුලේ කෙනෙකුගෙන් හෝ වකුගඩුවක් දන් දෙන කෙනෙකුගෙන් බද්ධකිරීම සඳහා වකුගඩු ලබාගැනීමයි. එබැවින් වකුගඩුවක් බද්ධකර ගැනීමට හැකිවී ඇත්තේ ඉතා සීමිත පිරිසකට පමණි.

මේ හේතුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක වන වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් මේ සඳහා සුදුසු පියවරක් ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගින්ගේ වකුගඩු, වකුගඩු රෝගින් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මහනුවර මහ රෝහල හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.

මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට වකුගඩු හෘදය, අක්මාව, අගන්‍යාසය, ඇස් හා පටක ඇතුළු අවයව කොටස් බද්ධකිරීමේ කටයුතු ද සිදුකරමින් පවතී. දිනකට හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයන් පස් හය දෙනෙකු මියයන අතර මියයන පුද්ගලයන්ගේ නිරෝගි අවයව මෙලෙස රෝගින් සඳහා බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මේ යටතේ ක්‍රියාත්මක කර ඇත.

හදිසි අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවයවයන්හි ජීවකාලය කෙටිකාලයක් රඳාපැවැතීම හේතුවෙන් ඉතා ඉක්මණින් බද්ධකිරීමේ කටයුතු සිදුකළයුතු බැවින් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්වීම මඟින් මෙම අවයව රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාවේ සහය ලබා ගැණිනි. මේ දක්වා ඒ සඳහා සිදුකළ යුතු ගෙවීම ගරු ජනාධිපතිතුමා විසින් පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදල මගින් දරන ලද අතර, මෙම ව්‍යාපෘතිය ඉදිරියට වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.

මේ අතර වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් දැනටමත් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත රියදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් පවති. එමෙන්ම අවයව දන්දීමේ මෙම ප්‍රතිකර්මයට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර ක්‍රියාව අගයකිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු සැලසුම් කරමින් පවතී. හදිසි අනතුරක් මගින් මොළය මියගිය අවස්ථාවක දී හෝ අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නන්ට දුරකථන අංක 081-2226522 මගින් මහනුවර මහරෝහලේ අවයව බද්ධකිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම්දීම මගින් මේ සඳහා දායක විය හැකි බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය දන්වා සිටි.

අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්‍ෂ අසේල ඉද්දවෙල, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ