››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජනපති මැදිහත්වීමෙන් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් රජයෙන් වැටුප්

ජනපති මැදිහත්වීමෙන් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් රජයෙන් වැටුප්

[2019/01/28]

මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්/යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.

ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳහන් කෙරිණි.

ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ති‍්‍රක් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැඳවා තිබිණි.

ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08 ක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.

රණවිරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් රණවිරු ගැටලු විසඳීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිරන්තරයෙන් සිදුකරන මැදිහත්වීම මෙහි දී රණවිරුවන්ගේ දැඩි ප‍්‍රශංසාවට ලක් විය.

ආරක්ෂක අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සනත් වීරසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන අනුරාධ විජේකෝන්, විජිතා මායාදුන්නේ යන මහත්ම මහත්මීහු සහ ති‍්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ