››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ථෙරවාද ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.

[2019/03/24]

බුදුපියාණන් වහන්සේගේ දේශනාව ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ්‍රී ලාංකිකයන් වන අප සතු බව ජනපති පවසයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට පියවර ගනිමින් ජනපති සමස්ත ලෝක බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටු කළ වගකීම මහා නා හිමිවරුන්ගේ පැසසුමට.

උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එම යෝජනාව නිල වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.

නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගිය දා පියවර ගත් අතර, ඉන් නොනැවතී උතුම් ත්‍රිපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් ත්‍රිපිටකය ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ්‍රී ලාංකිකයන් වන අප සතු බවයි. ලෝකයේ ඇති විශාල වූත්, ග්‍රනාථාරූඩ වූත් ඥාන සුමදාය වන ත්‍රිපිටකය මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශයට පත් වන තුරු ම එය රැකගත්තේ ශ්‍රී ලාංකේය මහා සංඝරත්නය බව පැවසූ ජනාධිපතිතුමා යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ මෙම අප්‍රමාණ උරුමය ලැයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙමඟින් හිමිකාරිත්වය, භාරකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකාව ලෝකයේ ම පිළිගැනීමට ලක්වීමේ අවස්ථාව උදාවීම බව ද කියා සිටියේය. එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ කුමන අන්දමේ විරුද්ධ අදහස් සහ අභයෝග එල්ල වුවද උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත් කිරීමට තැබූ පියවර සාර්ථකව ඉදිරියට තබන බවයි.

මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළ මහා නා හිමිවරුන් පෙන්වා දුන්නේ උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් පියවර සමස්ත ලෝක බෞද්ධ ජනතාවගේ ම පැසසුමට ලක්වන බවයි.

ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරවාසි අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු ගෞරවණිය මහා සංඝරත්නය ද, ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය, යුනෙස්කෝ සංවිධානය ඇතුලු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් ආයතනවල නියෝජිතවරුන් සහ විදේශීය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ත‍්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.03.23 වන දින ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගා මහමළුවේ දී

අද මේ ඓතිහාසික මහා උතුම් පින්බිමේ දී වන්දනීය පූජනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ ව සිදු කරන්නා වූ උතුම් මහා පුණ්‍ය කටයුත්ත පිළිබඳව ඔබ සෑම කෙනෙකුටම පුළුල් අවබෝධයක් තිබෙනවා.

පසුගිය 17 වනදා සිට අද දවස දක්වා ත‍්‍රිපිටකාභිවන්දනා සතියක් වශයෙන් රජය ප‍්‍රකාශයට පත් කළා. ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ ඔබ සෑම කෙනෙක්ම දන්නා පරිදි පසුගිය ජනවාරි මාසයේ දි උතුම් ත‍්‍රිපිටකය අපි ජාතික උරුමයක් බවට පත් කළා. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ශ‍්‍රී ලංකා ජනරජය බෞද්ධාගම පෝෂණය කිරීමට ද සුරක්ෂිත කිරීමට ද බැඳී සිටින්නේය කියලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඒ වගකීම ඉටු කිරීමට වගේම ත‍්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් පසුව කාලානුරූපව මෙම යුගය තුළ අප විසින් කළ යුතු උතුම් කාර්යයක් වශයෙන් ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඒ උතුම් කර්තව්‍යයටයි අප සෑම කෙනෙක්ම අද එක් වී සිටින්නේ.

‘විනයගරුක ප‍්‍රඥා සම්පන්න සමාජයක් ගොඩනැඟීමට අපට ඇති ස්ථිරසාර ඥානදර්ශනය ත‍්‍රිපිටකය බව වටහාගෙන ක‍්‍රියා කිරීම සඳහා අවශ්‍ය පරිසරය අප සියල්ලන් එක් ව ගොඩනැඟිය යුතුය’ යන්න මා අවධාරණය කළේ 2019 ජනවාරි 01 දා මාතලේ අලුවිහාරයේ දි යි. ඒ, ත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සව අවස්ථාවේ දි යි. බුදුපියාණන් වහන්සේ ගේ දේශනාව ආරක්ෂා කරමින්, පෝෂණය කරමින්, ලිඛිත ව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ‍්‍රී ලාංකිකයන් වන අප සතුයි.

ලෝකයේ ඇති අති විශාල වූත්, ග‍්‍රන්ථාරූඪ වූත් ඥාන සමුදාය වන ත‍්‍රිපිටකය මුද්‍රණ ද්වාරයෙන් ප‍්‍රකාශයට පත් වන තුරු ම රැකගත්තේ ශ‍්‍රී ලාංකේය මහා සංඝරත්නය යි. අතිශය ක‍්‍රමවත් ව ලියූ පරිපූර්ණ ත‍්‍රිපිටකයක් ලොවට ම උරුමවීමට අලුවිහාරයේ දී කළ ලේඛනගත කිරීම හේතු වුණා. යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ මේ අප‍්‍රමාණ උරුමය ලැයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙම`ගින් එහි හිමිකාරිත්වය, භාරකාරත්වය පිළිබඳ ව ශ‍්‍රී ලංකාව ලෝකයේ ම පිළිගැනීමට ලක් වීමේ අවස්ථාව උදා වීමයි. ලෝකයේ මේතරම් පුළුල් ඥානස්කන්ධයක් ග‍්‍රන්ථාරූඪ කර, එක ම වෙළුම් පෙළක් ලෙස පිළියෙළ කොට ඇත්නම් ඒ ත‍්‍රිපිටකය ම පමණයි. එහි එක් අකුරක් හෝ ජීව ලෝකයේ හෝ අජීව ලෝකයේ කිසිවකුට, කිසි දෙයකට අවැඩ පිණිස යෙදී නැහැ. ත‍්‍රිපිටකයේ එන පරම ප‍්‍රාර්ථනය වන්නේ සියලු ශ‍්‍රී ලාංකිකයන් නිදුක් වෙත්වා යන්න නොවෙයි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා යන්න යි. එහි ඇති ලෝක හිතානුකම්පක ප‍්‍රාර්ථනය මුළු මහත් විශ්වයට ම අදාළ යි.

එනිසා ත‍්‍රිපිටක ධර්මය සමස්ත ලෝකයේ ම යහපත සඳහා යි. ත‍්‍රිපිටකය ලෝක දායාදයක් වීමට සුදුසු වන්නේ සියලු සත්ත්වයා කෙරෙහි එහි ඇති අප‍්‍රමාණ මෛත‍්‍රී චින්තාව නිසයි. රීස් ඬේවිඞ්ස් පඬිවරයා 1881 දී එංගලන්තයේ ආරම්භ කළා පාලි පොත් සමාගම. (Pali Text Society) ඒ මගින් සිදු වුණු ත‍්‍රිපිටක පරිවර්තනයට මූලාධාර වුණේ අපේ පාලි ත‍්‍රිපිටකයයි.

බොහෝ දෙනා ස්වාභාවික භූමියක්, භෞතික වස්තුවක්, පෞරාණික ස්ථානයක් පමණක් ලෝක උරුම ගණයට අයත් වන බවයි වටහාගෙන ඉන්නේ. එය යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය අනුව, එහි නිර්වචනය අනුව නිවැරැදියි. ඒත් මනුෂ්‍ය සමාජයක ලේඛනගත උරුමය සලකා බැලෙන්නේ එහි ඇති විශ්වීය අගය අනුවයි.

එවැනි ලිඛිත උරුමයන්ට ඇතුළත් වන්නේ අතින් ලියූ අකුරු, අතින් ඇඳපු චිත‍්‍ර, සංකේත, සිතියම් ආදියයි. පටිගත කළ, පරිගණක මාධ්‍යයෙන් රැස්කරගත් නිර්මාණත් මීට ඇතුළත් වනවා. අද අප මේ සිදු කරන්නේ ත‍්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමයි. එවිටයි එය ලෝක මතක වැඩසටහන යටතේ පිළිගැනීම සඳහා සලකා බැලෙන්නේ.

ගෞරවනීය මහා නායක හාමුදුරුවනේ, මේ උතුම් ත‍්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කටයුත්ත ආරම්භ කළ අවස්ථාවෙත් ඉන් පසුවත් ඒ වගේම ලෝක උරුමයක් බවට පත් කිරීමට කටයුතු කරගෙන යන මේ අවස්ථාවෙත් ත‍්‍රිපිටකාභිවන්දනා සතියක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවත් මේ පිළිබඳ ව නොයෙකුත් විවේචන, මත, සංවාද ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. ඔබවහන්සේලා මෙහි දී අනුශාසනා කළ පරිදි අපේ නිර්මල බුදු දහමට අභියෝගයක් වන ආකාරයට විකල්ප බෞද්ධ දර්ශනයක් පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්නට භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් ප‍්‍රචාරයක් ගෙන යනවා. මා මේ පිළිබඳව සොයා බැලුවා. එය ඉතාමත්ම පැහැදිලි ලෙස විදේශයන්හි සම්බන්ධකම් තිබෙන රාජ්‍ය නොවන සංවිධාන කීපයක අනුග‍්‍රහය මගින් කෙරෙන්නා වූ දෙයක්. මහා සංඝරත්නය පෙරටු කරගෙන රජයක් විදියටත් බෞද්ධයන් විදියටත් ශ‍්‍රී ලාංකිකයින් විදියටත් ඒ කටයුත්තේ දී අප සියලු දෙනා ඒ තත්ත්වය නිරවුල් කරගෙන පවිත‍්‍ර වූ බුදුදහම ආරක්ෂා කර ගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමේ වැදගත්කම විශේෂයෙන් අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්.

ඒවගේම ලෝක උරුමයක් කිරීමේ මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇතැම් පිරිසක් කියන්න පටන් ගත්තා ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සුදුසු නැහැ කියලා. ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී පසුගිය දශක කීපයේත් ඈත අතීතයේත් වසර දහස් ගණනකට පෙරත් බෞද්ධ රටවල් මේ උතුම් ත‍්‍රිපිටකය පිළිබඳව ගෙන ඇති තීන්දු තීරණ රාශියක් තිබෙනවා. මෙහි අද ඉන්දියාව එහෙම නැත්නම් එදා මහා භාරතය ත‍්‍රිපිටකය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු තීරණ පූජා කිරීම් පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ අනිකුත් බෞද්ධ රටවල් සහ බෞද්ධ නොවන රටවල් ත‍්‍රිපිටකය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු තීරණ සහ පිළිගැනීම් කෙසේ ද යන්න මා සොයා බැලුවා. බෞද්ධ රටවල් වගේම බෞද්ධ නොවන රටවල් ත‍්‍රිපිටකය පිළිබඳව බොහෝ දේ පසුගිය දශක කීපයෙත් මීට වසර සිය ගණනකට පෙරත් කර තිබෙනවා. මා අතට පත් වූවා පාලි ත‍්‍රිපිටක මුද්‍රණ ආඥා පනත පිළිබඳ ව බුරුමයේ අග‍්‍රාමාත්‍ය ඌනෝ මහතාණන් විසින් 1954 මාර්තු මස 13 වන දින බුරුමයේ ජාතිය අමතා කරන ලද කතාව. මේ බුරුමයේ ජාතිය අමතා කරන ලද කතාවේ දී බුරුම අග‍්‍රාමාත්‍යතුමා 1954 දි ඉදිරිපත් කළ කරුණු කිහිපයක් මා ඉතාමත් කෙටියෙන් සඳහන් කරනවා.
මෙකී පරිදි ත‍්‍රිපිටකය ගල්වල කෙටීම දක්වා අවස්ථා හතරක් ඇති වූ බව අපට පෙනෙන්නට තිබෙනවා. ත‍්‍රිපිටකයේ කොටස් අටළොසකට බෙදා මහා තෙරුන් සතළොස් නමකුත් මහා පඬිවරයන් දෙදෙනෙකුත් විසින් කොටස බැගින් ගෙන සුද්ද කළ පළමුවෙනි අවස්ථාව. මෙසේ ශුද්ධ කළ පොත් මහ තෙරවරුන් දස නමකුත් ගිහි පඬිවරයන් දෙදෙනකුත් විසින් නැවතත් එහි ඒ ශබ්ද ශාස්ත‍්‍ර ග‍්‍රන්ථයන් හා සසඳා බලා ශුද්ධියට පැමිණ වූ දෙවෙනි අවස්ථාව. මෙසේ ශුද්ධියේ කටයුතු නිම කළ ඉක්බිතිව මහරජ අගමෙහෙසිය යුවරජ යන මේ රාජකීය උතුමන් ගේ ප‍්‍රමුඛත්වයෙන් පුස්කොළවල ලියවූ තුන්වෙනි අවස්ථාව. පිරිසුදුව ලියූ පුස්කොළ පොත්වලින් ගල් පුවරු මත කෙටූ සිවුවෙනි අවස්ථාව යන්න මෙහි සඳහන් කිරීමට පුළුවන්.”

මේ සඳහන් කරන්නේ විශේෂයෙන්ම බුරුමයේ අග‍්‍රාමාත්‍යතුමා 1954 දි කරන ලද කතාවේ කොටස්. ඒ වගේම එතුමා ගේ කතාවේ සඳහන් වෙනවා ත‍්‍රිපිටකය පිළිබඳව සඳහන් කිරීමේ දි පාචිත්‍ය පාලිය, චුල්ල වග්ග පාලිය, පරිවාර පාලිය සහ දීඝනිකායේ මේ සම්බන්ධයෙන් තිබෙන ඒ කරුණු එතුමාගේ ඒ කතාවේ සඳහන් වෙනවා.

මේ අවස්ථාවේ මා ඉදිරිපත් කිරීමට කැමතියි ජර්මන් රට බෞද්ධයන් බහුතරයක් සිටින රටක් නොවෙයි. මේ ජර්මන් රටේ ත‍්‍රිපිටකය ජර්මානු භාෂාවෙන් සම්පූර්ණයෙන්ම ලියැවිලා තිබෙනවා. මෙය ජර්මන් රජය තානාපති කාර්යාලය මගින් අපට එවලා තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලි ලෙසම සාක්ෂි සාධක රාශියක් තිබෙනවා බෞද්ධ රටවල් වගේම බෞද්ධ නොවන රටවල ත‍්‍රිපිටකය පිළිබඳව බොහෝ දේ කරුණු ඇතුළත් පිළිගැනීම්. බුරුමය පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා නීතිගත කරලා ත‍්‍රිපිටකය පිළිබඳව එය පිළිගැනීම සහ එය ක‍්‍රියාත්මක කිරීම පනතකින් නීතියකින් ක‍්‍රියාත්මක කරලා තිබෙන්නේ 1954 වසරේ. ජර්මනියේ බෞද්ධයන් ඉතාම සුළු පිරිසක් ඉන්නේ. නමුත් ජර්මන් රජය ජර්මන් භාෂාවෙන් මේ උතුම් ත‍්‍රිපිටකය මුද්‍රණය කරලා ඒ විදියට බෙදා හැරීමක් කරලා තිබෙනවා. ඒ නිසා අද අපි මේ කරන්නා වූ උතුම් කාර්යයේදි මා විශ්වාස කරනවා අප මේ ගෙනියන වැඩපිළිවෙළ කුමන විදියේ විකල්ප අදහස්, කුමන විදියේ අභියෝග, කුමන විදියේ මීට විරුද්ධ වූ මත ඉදිරිපත් වි තිබුණත් වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඔබ වහන්සේලා අනුශාසනා කළ පරිදි මේ කටයුත්ත සාර්ථකව ලෝක උරුමයක් කිරීමේ කාර්යය අපට ඉතාමත් ම පැහැදිලිව ඉටු කිරීමට පුළුවන් බව. ඒ නිසා අප සියලුදෙනාගේම සාමූහික වගකීමක් විදියට වන්දනීය පූජනීය මහා සංඝරත්නයත් ඒවගේම රජය මේ රටේ ජනතාව ඒ වගේම මේ සඳහා සහයෝගය දෙන සියලුම රටවල් ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට මේ අදහස ඉදිරිපත් කිරීමත් සමග ම ඉන්දීය රජයේ නියෝජිතයෙක් අපට පණිවිඩයක් එව්වා යුනෙස්කෝ ආයතනය තුළ මේ සඳහා කරන යෝජනාවේදී ශ‍්‍රී ලංකා රජය කරන යෝජනාව ඉන්දීය රජයට අවස්ථාව දෙන්න කියලා ඒ යෝජනාව ස්ථිර කිරීම සඳහා.

ඒ වගේම බෞද්ධ රටවල් රාශියක් මේ වන විට ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා, බෞද්ධ රටවල් රැසක් ඉල්ලීම් කරලා තිබෙනවා යුනෙස්කෝ ආයතනය සංවිධානය මෙය සාකච්ඡාවට ගන්නා අවස්ථාවේ දී එහි වැඩසටහනට න්‍යාය පත‍්‍රයට සහයෝගය දක්වලා අදහස් ඉදිරිපත් කරන්න ඒ රටවල නියෝජිතයන්ට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන්නැයි කියලා. ඒ නිසා මේ වන විටත් මේ පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පුළුල් සහයෝගයක් ලැබිලා තිබෙනවා. මේ ඓතිහාසික අවස්ථාවේ දී අපි ඉදිරි වගකීම් අනුව එය අන්තර්ජාතික වශයෙන් එය ලෝක උරුමයක් ලෙස පිළිගැනීමට අද සිට අප විසින් ගන්නා වූ ක‍්‍රියාමාර්ගය වඩාත් සාර්ථක වන බවයි මාගේ විශ්වාසය. ඔබවහන්සේලා ගේ ආශිර්වාදය තුළ මා විශ්වාස කරනවා ඒ කටයුත්ත ඉතාමත් සාර්ථකව කළ හැකි බව. ඒ නිසා අද දවසේ මේ උතුම් පුණ්‍ය කටයුත්තට ඔබ වහන්සේලා ප‍්‍රමුඛ ව මේ ඓතිහාසික මහා බෞද්ධ පූජනීය පින්බිමේදි මේ එක්වුණු අවස්ථාව ඉතාමත් වැදගත් වනවා.

ඒ වගේම මම ඉමහත් සතුටින් මේ අවස්ථාවේ ප‍්‍රකාශ කරන්නට ඕනෑ ඉතාම කලාතුරකින් දකින දර්ශනයක් අපි දකිනවා අපේ මහා නායක හාමුදුරුවනේ. මේ උතුම් බෞද්ධ පින්බිමේ දී අස්ගිරි, මල්වතු, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, එසේම අමරපුර මහානිකායේ මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා ඉතාම කලාතුරකින් තමයි අපට දැක ගන්නට ලැබෙන්නේ මේ විදියට එකට අසුන්ගෙන සිටිනවා. මගේ ජීවිත කාලය තුළ ඇත්තටම මීට කලින් මේ අවස්ථාව මම දැකලා නැහැ. මහානායක ස්වාමින් වහන්සේලා සිවු නම ම මේ අවස්ථාවට වැඩම කරලා මේ උතුම් කටයුත්තේ දී අපට දෙන අනුශාසනාව පිළිබඳව බෞද්ධ ජනතාව විදියට අපි ඉතාමත් සතුටු වෙනවා.

මේ සියලු කටයුතු අපි කරන්නේ ඔබවහන්සේලාගේ අනුශාසනා, මඟපෙන්වීම, උපදෙස් මතයි කියන කාරණය මා සඳහන් කරන්නට ඕනෑ.

මීට අදාළ නොවන කරුණක් එහෙත් මේ දිනවල විශේෂයෙන් අපේ ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප‍්‍රමුඛ අපේ බෞද්ධ ජනතාව තුළ සාකච්ඡාවට ලක් වෙන එක කාරණයක් පිළිබඳව වචනයක් පමණක් කියන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ මොකද මාධ්‍ය තුළත් මේ දිනවල බොහෝම තදින් ප‍්‍රචාරය වෙනවා මේ විල්පත්තු අභයභූමියේ වන සංරක්ෂණය තුළ මේ ඉඩම් දීමක් පිළිබඳව. අපේ මහ නායක හාමුදුරුවනේ මම බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට ඕනෑ මේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට ඕනෑ.

ඔබ සියලු දෙනාටම ස්තූතියි.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකක


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ