››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

[2019/04/25]

පසුගිය පාස්කු ඉරිදා (21) දින සිදු වූ අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක වැඩසටහනින් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය විශේෂිත ක්‍රියාමාර්ගයන් රජය විසින් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවත් දන්වා සිටිමි. අද දින ද දිවයින පුරා ඊට අදාල ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂිත ආරක්ෂිත වැඩසටහන් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10,000 කට අධික පිරිසක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2000 කට අධික පිරිසක් දිවයින පුරා ආරක්ෂාව සඳහා යොදවා තිබේ. එසේම, ඊට අදාළව මේ වනවිට පුද්ගලයින් 76 දෙනෙකු පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පුද්ගලයින්, රථවාහන හා පරිශ්‍රයන් පරික්ෂා කිරීම සිදු කෙරේ.

තවද, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් පූර්ණ අධ්‍යනයක් සිදු කෙරේ. එම නිර්දේශයන්ගෙන් පසු පුද්ගලයින්, සංවිධාන හෝ ආයතන සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට ද අපේක්ෂා කෙරේ.

කුරිරු ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ප්‍රහාර මාලාවෙන් පසු, කඩිනමින් ක්‍රියාත්මක වූ අප අමාත්‍යාංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වලට ඇතැම් ත්‍රස්තවාදීන් ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔවුන්ට අනුබල දුන් හා ආරක්ෂාව සැලසූ අයවලුන් මෙන්ම එම ක්‍රියාවට සම්බන්ධ බොහෝ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට හැකි වූ අතර ඔවුන් රැඳී සිටි වාසස්ථාන හා ඔවුන් භාවිතා කළ රහස් නිවාස සොයාගැනීමට හැකියාව ලැබුණි. තවදුරටත් ආරක්ෂක අංශ විසින් තම කාර්යභාරය නොපසුබටව ඉටුකරමින් සිටී.

අදාළ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් වාර්තා වූ පූර්ව බුද්ධි තොරතුරු හා දත්තයන් ද සෙසු එවැනි වාර්තාවීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය අනුගමනය කරමින්, ඊට අදාළව ක්‍රියාත්මක වීමේ බලය හිමි ආයතනයන් වෙත ඒ ඒ අවස්ථානෝචිතව කඩිනමින් යොමු කර තිබේ. තවද ඊට අදාල උපදෙස් හා නියෝග ද නිකුත්කර තිබේ. හදිසි නීතිය හෝ වෙනත් යම් විශේෂිත නීති තත්ත්වයක් බලාත්මක නොවන පසුබිමක දී එවැනි කටයුතුවල සම්පූර්ණ වගකීම පැවරෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවටය. එවැනි පසුබිමකදී ද පොලිසිය හා නිසි ආයතනයන් මගින් අත්අඩංගුවට ගැනීම් හා පරික්ෂා කිරීම වැනි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකර ඇත.

කෙසේ නමුත් ආරක්ෂක අංශයන්හි වගකීම් හා රාජකාරි ඉටුකිරීම සම්බන්ධයෙන් යම් අතපසුවීමක් හෝ පැහැර හැරීමක් සිදුව ඇතිදැයි සොයා බැලීමට අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් ද ස්වාධීන පරීක්ෂණයක් පවත්වනු ලබයි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.

හේමසිරි ප්‍රනාන්දු

ලේකම් - ආරක්ෂක අමාත්‍යාංශය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ