››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නාවික හමුදාව තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

 ‘සත්විරු අභිමන්’ රණවිරුව උපහාර උළෙල

[2019/07/22]

රණවිරු පවුල් සදහා නව නිවාස, ඉඩම් සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

 

අද (ජූලි 22) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ‘සත්විරු අභිමන්’ රණවිරු සුභසාධන වැඩසටහනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

මෙම ජාතික වැඩසටහන මඟින් සුභසාධන ව්‍යාපෘති කිහිපයක් යටතේ රණවිරු ප්‍රතිලාභීන් 1500 කට වැඩි පිරිසකට නව නිවාස, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා අරමුදල්, ඉඩම් සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් පිළිගන්නා ලදී.

පිළිගැනීමේ කතාව කරමින් ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ රණවිරුවන් සැමවිටම සිහිපත් කළ යුතු බවත් ඔවුන්ගේ සේවය හා කැපකිරීම වෙනුවෙන් කෘතඥතාව දැක්විය යුතු බවත්ය. රටෙහි අර්බුදකාරී අවස්ථාවන්හිදී පමණක් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිහිපත් වීම සිදුනොකර රණවිරුවන් සදාකාලිකව සිහිපත් කළ යුතු බවයි. ඔවුන් සිදුකල පරිත්‍යාගයන් හා කැපකිරීම් වෙනුවෙන් නිරන්තරයෙන් උණුසුම් හදවතින් කෘතඥතාව දැක්වීම ජාතියක් ලෙස සෑම පුරවැසියකුගේම යුතුකමක් බව වැඩිදුරටත් පවසන ලදී. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ද ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ හොදම සංචාරක ගමනාන්තයක් ලෙස නම් කිරීමට හේතුව අප රටට බලපෑ අන්තවාදී ත්‍රස්තවාදයෙන් රට ක්ෂණිකව මුදවා රට නැවත යථා තත්වයට පත්කිරීම වෙනුවෙන් දිවා රෑ මුළුල්ලේ ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් විසින් සිදු කල කැපවීම මත බව ආරක්‍ෂක ලේකම්වරයා පවසන ලදී. රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු පිළිබඳව විස්තර කරමින් එතුමා කියා සිටියේ අද දින වැඩසටහනේදී පමණක් ඔවුන්ට රුපියල් මිලියන 710 කට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවයි.

රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා රට ආරක්‍ෂා කිරීම සඳහා රණවිරුවන් විසින් සිදු කළ උදාර සේවය හා කැපකිරීම සිහිපත් කරමින් සිදු කල සේවය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර සෑමවිටම ජාතියේ ගෞරවය හා සේවය ඇගයීම සිදු කල යුතු බවත් පැවසීය. රජය විසින් ත්‍රිවිධ හමුදාවන්ට සියලු පහසුකම් හා සම්පත් ලබා දෙන බව ද සඳහන් කළේය.

යුද්ධය අවසන් වීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව ජාතික සංවර්ධනය, කෘෂිකාර්මික ව්‍යාපෘති, ඉදිකිරීම් ක්ෂේත්‍රය, ආපදා සහන සහ වෙනත් මහජන සුභසාධන වැඩසටහන් සඳහා සම්බන්ධ වී ඇති බවත් ඔවුන් සතු මානව සම්පත්, කුසලතා සහ හැකියාවන් උපයෝගී කරගනිමින් තමන් සතු පහසුකම් භාවිතයෙන් සිදු කරන නවීන තාක්‍ෂණික නවෝත්පාදනයන් අගය කිරීම සිදු කරන ලදී. නිදන්ගත වකුගඩු රෝග පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ජල පිරිපහදු යන්ත්‍ර (Reverse Osmosis water treatment plants) නිෂ්පාදනය කිරීමේදී ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් පසුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකල සේවය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විය. මෙවැනි අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාර නැවත ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීම සඳහා විශේෂ වැළැක්වීමේ පියවර ගෙන ඇති බවත් වෙනත් කිසිදු රටකට අත් කරගත නොහැකි වූ ආකාරයට ත්‍රස්තවාදය විනාශ කිරීමට අප ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට හැකි වූ බවත් එතුමා පැවසීය. අප්‍රියෙල් 21 පාස්කු ඉරිදා දින ත‍්‍රස්ත ප‍්‍රහාරය සිහිපත් කරමින් එතුමා කියා සිටියේ ප්‍රහාරයේදී මියගිය සියලුම රණවිරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ මතකයන් මෙන් විපතට පත් වූවන්ගේ මතකයන් ද අප සමඟ පවතිනු ඇති බවයි.

‘සත්විරු අභිමන්’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන්හට නව නිවාස ඉදිකිරීම හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා පූර්ණ හා අර්ධ වශයෙන් අරමුදල් ප්‍රදානය කරන ලදී. මෙම උත්සවය අතරතුරදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ පවුල් සඳහා නිම කරන ලද නිවාස 25 ක් ජනාධිපතිතුමා විසින් පිළිගැන්වීය. මෙම නිවාස ඉදිකිරීම සදහා අරමුදල් රු. මිලියන 37.5 ක් ලබාගෙන ඇත්තේ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලෙනි. මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සදහා යුද හමුදාව විසින් දරනු ලබන ශ්‍රමය, යන්ත්‍රෝපකරණ සහ වෙනත් වියදම් මුදල් ඒ සදහා ඇතුලත් නොවේ. සම්පූර්ණ ව්‍යාපෘතියේ පිරිවැය රු. මිලියන 50 කි.

මීට අමතරව, රණවිරුවන් 925 ක් අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා ආධාර ලබා ගත් අතර, රණවිරුවන් 246 දෙනෙකුට නිවාස ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් ලැබුණි. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් රණවිරුවන්ගේ දරුවන් 308 දෙනෙකුට වැඩිදුර අධ්‍යාපනය සඳහා ‘විරුසිසු ප්‍රදීපා' ව්‍යාපෘතිය යටතේ මූල්‍ය ආධාර ලබා දෙන ලදී.

2010 වර්ෂයේ සිට මේ දක්වා නව නිවාස 2917 ක් ඉදිකර ඇති අතර 2014 වර්ෂයේ සිට අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 4487 ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත. නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 7404 ක් ඉදිකර ඇත.

ජනාධිපති ලේකම්, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශේෂ අමුත්තන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ