ජීව දත්ත   රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා

චමල් රාජපක්ෂ මහතා, පා.ම.

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය


රුහුණු පුරවරයට සහ හම්බන්තොට ප්‍රදේශයට අතිවිශාල සේවයක් කළ ඩී ඒ රාජපක්ෂ මැතිතුමාගේ සහ දන්දිනා සමරසිංහ මැතිණියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ලෙස 1942 ඔක්තෝම්බර් මස 30 වැනිදා චමල් රාජපක්ෂ මහතා උපත ලැබීය.

නව දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරයා වන ඔහු ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහෝදරයෙකු වේ.

දකුණේ විශිෂ්ඨතම පාසලක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ එතුමා ඩී ඒ රාජපක්ෂ මැතිතුමාගේ අඩි පාරේ යමින් සමාජ සේවයට පිවිසියේය. චමල් රාජපක්ෂ මහතා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස 1964 දී පොලිස් සේවයට එක් වූ අතර වසර අටක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත විය. ගමගේ විජේවර්ධන චන්ද්‍රා මාලනී මෙනවිය සමග වර්ෂ 1975 දී පමණ හත්තොටුවේදී විවාහ දිවියට එළැඹි චමල් රාජපක්ෂ මහතාට පුතුන් දෙදෙනෙක් සිටී. ඒ ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන පිරිමි දරුවන් දෙදෙනායි. වැඩිමහල් පුත්, ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් මහ ඇමතිවරයා සහ කතරගම ශ්‍රී ස්කන්ධකුමාර මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ අතර වර්තමාන පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවයි.

පොලිස් සේවයෙන් ඉවත් වී 1985 දී මුල්කිරිගල මැතිවරණ කොට්ඨාශය සඳහා අතුරු මැතිවරණයට ඉදිරිපත් විය. ඉන් අනතුරුව 1989 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර අඛණ්ඩව පුරා වසර 32 ක් අද දක්වා මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටී.

මීට පෙර ගරු චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය, වරාය හා දකුණු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය, කෘෂිකාර්මික සංවර්ධන අමාත්‍ය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය සහ වරාය හා ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කර ඇත.

2010 වසරේ දී මෙරට උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායක පදවියටද පත් චමල් රාජපක්ෂ මහතා 2015 වසර දක්වා එම ධූරය හෙබවීය.

ගරු චමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා - රුසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ශ්‍රී ලංකා - හංගේරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති සහ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එතුමන් “ශ්‍රී ලංකා ජනසේවා විභූෂන” යන ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත.

2005 වසරෙන් පසුව මව් ආර, වෙහෙරගල, වේලි ඔය, මැණික් ගඟ, උමා ඔය, දැදුරු ඔය කැකිරිඕබඩකන් ඔය සහ යාන් ඔය වැනි වාරි ව්‍යාපෘති ආරම්භ කර ක්‍රියාවට නැංවීමට ද පෙරමුණ ගෙන ක්‍රියා කළ අමාත්‍යවරයෙකි. වර්තමාන වාරි සෞභාග්‍යය ජාතික වැඩසටහන යටතේ වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ නියමුවා ද එතුමාය.

නිරහංකාර නිහඬ සේවයක් මෙරට පොදු ජනතාවට ඉටුකරන අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා වත්මන් තරුණ දේශපාලනඥයන්ට ආදර්ශමත් නායකයෙකි.