පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයට පිං පමුණුවමින් දානමය පුණ්‍ය කර්මයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

ජුලි 21, 2019

පසුගිය අප්‍රියෙල් (21) පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම සිදුවී මාස තුනක් සම්පුර්ණ වීම නිමිත්තෙන් එහිදී විපතට පත් වූවන් සිහිපත් කරමින් දානමය පුණ්‍ය කර්මයක් අද (ජුලි 21) දින කොළඹ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දි පැවැත්විණි. සිදු වූ අවාසනාවන්ත සිදුවීම සිහිපත් කරමින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම් වල ආගමික නායකයින් විසින් ආගමික වතාවත් සිදුකරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති දානමය පුණ්‍ය කර්මය සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.

ආරක්‍ෂක ලේකම් විසින් ධාතු කරඩුව වැඩම කරවන ලදී. ආගමික වතාවත් මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින් වහන්සේ විසිනි. මෙම අවස්ථාවට සහභාගී වූ හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරන පුජකවරුන්ද ආගමික වතාවත් සිදුකරන ලදී.

බෝම්බ පිපිරීමෙන් මියගිය සියලු දෙන හට පිං පැමිණවීම හා තුවාල සිදු වූ අයට ඉක්මන් සුවය පතා විශේෂ බහු ආගමික වතාවත් සිදු කරන ලදී.

ආගමික වතාවත් වලින් පසුව ගරුතර මහා සංඝයා වහන්සේලාට සහ අනෙකුත් ආගමික නායකයින් සඳහා දානය පිරිනමන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපති සෝනියා කොට්ටෙගොඩ මහත්මිය, ත්‍රිවිධ හමුදාපතිවරු, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2019 අපේ‍්‍රල් 21 වන දින රටම කම්පා කරමින් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවූ අතර මේ නිසා ජීවිත හානි සහ සියගණනක් පිරිසකට තුවාල සිදු විය. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු තවත් දේවස්ථාන කිහිපයක් සහ කොළඹ පිහිටි සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී. මෙම පිපිරීමෙන් විදේශීය ජාතිකයන් කිහිප දෙනෙකුගේ ජීවිත ද අහිමි විය