එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)
WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China),
MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc

ලේකම් - ආරක්‍ෂක අමාත්‍යාංශය


මාතෘභූමියේ නිදහස වෙනුවෙන් සිදුකලා වූ මානුෂීය මෙහෙයුමට සක්‍රියව සම්බන්ධ වූ එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවීණ ගුවන් නියමුවෙකු මෙන්ම ඔහු විසින් දිවිහිමියෙන් සිදුකල කැපකිරීම් වෙනුවෙන් ඉමහත් ගෞරවයට හා ඇගයීමට පාත්‍ර වූ යුධ ප්‍රවීණයෙකු ද වේ. සිය අත්දැකීම් සම්භාරය සහ කැපවීම ඔස්සේ ජාතික ආරක්‍ෂාව ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් 2024 සැප්තැම්බර් මස 23 වන දින අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පත් කරන ලදි.

1966 නොවැම්බර් 26 වැනිදා කොළඹ දී උපත ලද එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය මුලික හා ද්විතියික අධ්‍යාපනය හැදැරිය. පාසල් කාලයේදී අධ්‍යාපන කටයුතු වලට මෙන්ම රග්බි ක්‍රීඩාවටද දස්කම් දැක්වූ ඔහු පාසලේ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කල අතර, එහිදී ඔහු දැක්වූ සුවිශේෂී දක්‍ෂතාවයන් හේතුවෙන් කොළඹ එක්සත් පාසල් රග්බි කණ්ඩායම නියෝජනය කිරීමටද අවස්ථාව ලැබුණු අතර, 1985 වර්ෂයේදී ඔහුගේ කැපී පෙනෙන ක්‍රීඩා කුසලතාව වෙනුවෙන් පාසල් රග්බි වර්ණවලින් පිදුම් ලැබීය.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා 1988 මැයි 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වීමත් සමඟ ඔහුගේ කීර්තිමත් හමුදා ජීවිතය ආරම්භ විය. කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදුකල විශේෂ මෙහෙයුම් වලදී ඔහු දැක්වූ නිර්භීතභාවය, හැකියාවන් සහ උපායමාර්ගික විශේෂඥතාව නොයෙක් අවස්ථාවන්හිදී පැසසුමට ලක්වූ අතර, ලැබූ යුධ අත්දැකීම් හා න්‍යායාත්මක දැනුම සමගින් ජ්‍යෙෂ්ඨත්වයෙන් උසස් වන විට ඔහුගේ සුවිශේෂී කුසලතා සහ නායකත්ව ගුණාංග ඉස්මතු වී පෙනෙන්නට විය.

සිය වෘත්තීය ජීවිතය පුරාවටම හෙලිකොප්ටර් යානා ගුවන් නියමුවෙකු වශයෙන්, උතුරු නැගෙනහිර කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීම සඳහා සිදුකල මානුෂීය මෙහෙයුම් හා භූමියේ භට පිරිස් වලට අවශ්‍ය සහය දැක්වීම සඳහා සිදුකල අතිශය බිහිසුණු මෙන්ම අන්තරාදායක යුද මෙහෙයුම්වලදී ඔහු විසින් ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරනු ලැබීය. MI 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් සතුරාගේ ප්‍රහාර හමුවේ නොසැලී මුහුණ දෙමින් ද සතුරු ඉලක්ක වෙත අති සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කොට සතුරු කණ්ඩායම් අඩපණ කිරීමෙන්ද ඔහු දැක්වූ අප්‍රතිහත ධෛර්යය, යුදකාමිත්වය සහ උපායශීලී ප්‍රවීණත්වය වෙනුවෙන් ජාතියේ කෘතවේදීත්වය සහ ගෞරවය දැක්වීම සඳහා, වීරත්වය වෙනුවෙන් පිදෙන "වීර වික්‍රම විභූෂණය", "රණ වික්‍රම පදක්කම" තුන් වරක් සහ "රණ ශූර පදක්කම" දෙවරක් ආදී වශයෙන් පදක්කම් කිහිපයක්ම ඔහු වෙත ප්‍රදානය කරනු ලැබීය.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා හෙලිකොප්ටර් ගුවන් නියමුවෙකු ලෙස විශේෂ ගුවන් මෙහෙයුම්, ප්‍රභූ ප්‍රවාහන රාජකාරී සහ ප්‍රහාරක මෙහෙයුම් ඇතුළු විවිධ පරාසයන් ඔස්සේ පියාසර පැය 7,000 කට අධික කාලයක් ලඝු සටහන් තැබීමට දායක වී ඇත. සතුරාට එරෙහිව සිදුකල විශේෂ ගුවන් මෙහෙයුම් පිළිබඳ ඔහුගේ විශේෂඥ දැනුම සහ නායකත්වය, එවකට අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල අවධියේදී සාර්ථක මෙහෙයුම් රාශියකට ප්‍රබල සාධකයක් විය.

ඔහුගේ සේවා කාලය තුලදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස මෙන්ම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වශයෙන් ද අතිශය භාරධුර වූ පත්වීම් කිහිපයකම සාර්ථක අන්දමින් රාජකාරි සිදුකොට තිබීම ඔහු සතු වෘත්තීය නිපුණත්වය, ප්‍රවීණත්වය සහ උපායමාර්ගික දැක්ම පිලිබඳ නිදසුන් සපයනු ලබයි.

2009 වසරේ සිට 2011 වසර දක්වා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙසත්, 2013 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරි ලෙසත්, 2014 වසරේ දී ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලෙසත්, කටයුතු කර ඇත.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා ත්‍රිකුණාමලය චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කරනු ලැබීය. 2017 වසරේ සිට 2020 වසර දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ලෙස කටයුතු කල කාල සීමාවේදී ඔහු සමස්ත ගුවන් ආරක්‍ෂක අණදෙන නිලධාරී තනතුර ද හෙබවීය.

එමෙන්ම 2020 වසරේ දී ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්‍ෂිණ විධානයේ ප්‍රථම අණදෙන නිලධාරි බවට පත්වෙමින් ඉතිහාසගත විය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගන්නා විට ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළේය. තවද ඔහුගේ කැපී පෙනෙන නායකත්වය හමුදා සේවයෙන් ඔබ්බට විහිදෙන අතර, තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී සහ මලල ක්‍රීඩා සංචිත වල සභාපති ධුරයන් ද දරමින් ක්‍රීඩාවට සහ ප්‍රජා සහභාගීත්වයට ඇති කැපවීම පෙන්නුම් කරනු ලැබිය.

තම සේවය වෙනුවෙන් කැප වී ක්‍රියා කල එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා විවිධ පරාසයන් ඔස්සේ අඛණ්ඩව ශාස්ත්‍රීය කටයුතු වල නියැලෙමින් සිය දැනුම ඉහල නංවා ගැනීමට දැක්වූ සිය කැපවීම ඔහු ලබා ඇති අධ්‍යයන සුදුසුකම් තුලින් මනාව පැහැදිලි වේ. ඔහු චීනයෙන් යුද උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්, ආරක්‍ෂක අධ්‍යයන කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. එමෙන්ම ඔහු චීනයේ බීජිං හි පිහිටි කීර්තිමත් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වන අතර, මේ ඔස්සේ ඔහුගේ උපායමාර්ගික සහ රාජ්‍යතාන්ත්‍රික හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමටද හැකියාව ලැබී ඇත. එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා දියණියන් තිදෙනෙකුගේ ආඩම්බර පියෙකි.

සිය සංග්‍රාමික අත්දැකීම් මෙන්ම උපාය මාර්ගික තීක්‍ෂණ බුද්ධිය සහ නොසැලෙන දේශප්‍රේමයේ අද්විතීය සංකලනයක් තුලින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අප රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමටත් ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවන් සඵල කරගැනීමටත් සිය උපරිම කැපවීමෙන් කටයුතු කරනු ලබයි. තිස් වසරක යුද්ධයෙන් පීඩිතව සිටි ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදා ගැනීම සඳහා සමස්ත ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකල මානුෂීය මෙහෙයුම් වලදී ලබා ගත් අත්දැකීම්, නායකත්වය සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ ඔහුගේ පුළුල් පසුබිම ද සමඟින්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ශ්‍රී ලංකාවේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආරක්‍ෂක ප්‍රතිපත්ති වඩා ක්‍රමවත්ව මෙහෙයවීමටත් නිරන්තරයෙන් වෙනස් වන ආරක්‍ෂක භූ දර්ශනයක් තුළ ජාතික ආරක්‍ෂාව සහතික කිරීමටත් අවශ්‍ය පරිදි ත්‍රිවිධ හමුදාවන්ට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීමටත් ක්‍රියා කරමින් සිටී.