සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වූ ඉල්ලීම් ජනපතිගේ අවධානයට

ජුනි 04, 2019

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අභිනවයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (04) පස්වරුවේ එක් වෙමිනි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දීර්ඝ කාලයක් පැවති අඩුවක් සම්පූර්ණ කරමින් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ ඉදිකර තිබෙන මූලස්ථාන ගොඩනැඟිල්ල සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 120කි.


මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තිස් වසරක ත්‍රස්තවාදයට එරෙහි සටන් බිමේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමඟ එක්ව සිවිල් ආරක්ෂක බළකාය ද ඉටු කළ ඓතිහාසික කාර්යභාරය කිසිදා ඉතිහාසයෙන් මැකී නොයන බවයි.

එම සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුවක් අනුව සිවිල් ආරක්ෂක සේවාව විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කළ බව ද පැවසීය.

අද දින ද ඉල්ලීමක් 09 ක් සහිත යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතුවලට අදාළ එම ඉල්ලීම් හැකි උපරිමයෙන් ඉටුකර දීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

සමරු ඵලකය නිරාවරණය කර මූලස්ථාන ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

වයස අවුරුදු 60 සම්පූර්ණ වී 2015-04-23 වන දිනට පෙර සේවයෙන් ඉවත් වූ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් වෙත දීමනාවක් ලබාදීම සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත එම දීමනාව ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන්ම 2015-04-23 වන දින සේවය ස්ථීර වීමෙන් පසුව මිය ගිය සාමාජිකයන්ගේ කලත්‍රයන් වෙත වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිත ලබාදීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මුල සිට කැපවීමෙන් කටයුතු කළ සාමාජිකයන් ද ඇගැයීමට ලක් කෙරිණි.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය ආචාර්ය කොටුගොඩ ධම්මාවාස යන නායක ස්වාමින් වහන්සේලා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න, ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ද ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානිහු ද සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුළු නිලධාරිහු මීට එක්ව සිටියහ.

මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා භූමිය ලබාදුන් මෝල්පේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය පදලංගල සමිත නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුව දුක් විමසීය.

සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වයෙන් විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව ධාතු මන්දිරය සහ දාන ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මොරටුව කටුබැද්ද ප‍්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-06-04

මේ රටේ වසර තිහක ම්ලේච්ඡ ත‍්‍රස්ත‍වාදී යුද්ධයේදී රට රැක ගැනීමටත් රටේ ජනතාවගේ නිදහස වෙනුවෙනුත් දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙනුත් ගෙන ගිය වීරෝදාර සටනට යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක විදියට ඔබ කරනු ලැබුවේ ඓතිහාසිකවූත්, අමරණීයවූත් සේවාවක්. එය කිසි දවසක මේ රටේ ඉතිහාසයෙන් ඉවත් කළ නොහැකියි.

අසූව දශකයේදී ආරම්භ වූු ම්ලේච්ඡ ත‍්‍රස්ත‍්‍රවාදී යුද්ධය නිසා මේ රටේ ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක් වුණා. ත‍්‍රිවිධ හමුදා පොලිසිය වගේම සාමාන්‍ය ජනතාවත් ලක්ෂයකට ආසන්න ජීවිත ප‍්‍රමාණයක් විනාශ වුණා. කොළඹ නගරයේ සිට දිවයින පුරා දීප ව්‍යාප්තව පිපිරී ගිය බෝම්බවලින් වගේම ත‍්‍රස්තවාදීන් ගම්මානවලට පැනලා සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව කඩුවෙන්, පිහියෙන් වගේම විවිධ ආයුධවලින් විනාශ කළ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි. මේ රටට ඉන්දීය හමුදාව ලක්ෂයක පමණ පිරිසක් පැමිණියා. එහෙත් ඔවුන්ටත් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත‍වාදය පරාජය කරන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපේ රණවිරුවන් තමයි ඒ විශිෂ්ට ජයග‍්‍රහණයේ උරුමකරුවන් හා හිමිකරුවන්. ඒ නිසා මුළු මහත් ජාතියේම ගෞරවය ඔබටයි හිමි වෙන්නේ.

අසූව දශකයේ මැද භාගයේ ග‍්‍රාමාරක්ෂකයින් විදියට ගම රකින්න සේවයට බඳවාගත් ඔබ ඇදී ගිය යුද්ධයත් සමග ග‍්‍රාමාරක්ෂක සේවාවේ වටිනාකම වැඩිවෙන්නට පටන්ගත්තා. ඒ නිසා තමයි 2007 පමණ වන විට දෙපාර්තමේන්තුවක් බවට ඔබේ සේවය පත් කරන්නට එවක රජය කටයුතු කළේ. ඒ වගේම 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයේ දී මා ඉදිරිපත් කළ මගේ මැතිවරණ ප‍්‍රකාශනයේ පැහැදිලිවම සඳහන් කළා, සිවිල් ආරක්ෂක සේවයේ සිටින ඔබ ස්ථිර රාජ්‍ය සේවයට පත් කර විශ‍්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවයක් බවට පත් කරන බවට. මේ රටේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යුද්ධයේදී රණවිරුවන් විදියටත්, රටේ ආර්ථික සංවර්ධනයේ පුළුල් කොටස්කරුවන් ලෙසත් ඔබ සෑම කෙනෙක්ම වැඩ කර තිබෙනවා. සමාජ සුබසාධනය, ආගමික සේවාවන් ඇතුළු විවිධ සමාජ කාර්යයන් ඉටුකරමින් රටේ ආර්ථිකය ගොඩ නංවන්නට විවිධ ක්ෂේත‍්‍රවල ඔබ ඔබේ දක්ෂකම් හැකියාවන් පෙන්වා තිබෙනවා.

ඒ වගේම ඔබේ දෙපාර්තමේන්තුවේ තිබෙන සංස්කෘතික අංශය, අද මේ රටේ රාජ්‍ය සේවාවේ තිබෙන සංස්කෘතික අංශවලින් ඉතාමත් විශිෂ්ට අංශයක් බවට අපි කවුරුත් පිළිගන්නවා. ඔබේ සේවාවේ වටිනාකම් යුද්ධය පැවැති සමයේ ජීවිත පරිත්‍යාගයෙන් පෙන්නුම් කළා වගේම යුද්ධය අවසන් වී වසර දහයක් වන මේ අවස්ථාවේ රටේ සංවර්ධනයට ඔබේ ශ‍්‍රමය, දැනුම, අත්දැකීම් ඉතාමත් විශිෂ්ට ලෙස ඔබ පරිත්‍යාග කර තිබෙනවා.

මේ නිසා ඔබට මෙතෙක් කල් ඔබේම කියන මූලස්ථානයක් තිබුණේ නැහැ. රජය මුදල් වැයකරලා මේ නව ගොඩනැගිල්ල ඔබට ලබාදෙන්න අපට පුළුවන් කම ලැබීම ගැන මා සතුටු වෙනවා. ඒ තුළින් ප‍්‍රධාන වශයෙන්ම ඔබටම කියන ඔබේම තැනක් ලැබිලා තිබෙනවා. ඒ තුළ ඔබේ සේවාවන් ශක්තිමත් කර විධිමත් කරන්න මේ නව ගොඩනැගිල්ල පහසුවක් වේවි.

මේ නව ගොඩනැගිල්ල ඉදි කිරීමට භූමිය ලබාදුන් අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ දායක සභාවට මම රජය වෙනුවෙන් විශේෂ ගෞරව පූර්වක ස්තුතියක් පිරිනමනවා. සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවනේ සමාවෙන්න ඕන මම මේක කිව්වාට බෞද්ධ වෙහෙර විහාරස්ථානයක දෙයක් කෙනෙකුට ලබා ගන්න හරි අමාරුයි. පූජාකරන එක තමයි අපි හැම වෙලාවෙම කරන්නේ. නමුත් කලාතුරකින් දකින දෙයක් තමයි මේ බෞද්ධ ආයතනයකට අයිති භූමියක් තවත් දෙයකට පරිත්‍යාග කිරීම. රටේ සංවර්ධනය, රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාවට අධ්‍යාත්මික වැඩසටහන් මේ සියල්ලටම ඔබවහන්සේ දුන්නේ පුළුල් දායකත්වයක් සහ සහයෝගයක්. ඒ නිසා එය එක් පැත්තකින් මහා පුණ්‍ය කර්මයක් වගේම තවත් පැත්තකින් ඔබ වහන්සේලා විසින් ඉෂ්ට කරන ලද විශිෂ්ට වූ සේවාවක් විදියට මම හඳුන්වනවා. ඒ පිළිබඳව මා නැවත නැවතත් රජය වෙනුවෙනුත් මේ දෙපාර්තමේන්තුව වෙනුවෙනුත් ගෞරව පූර්වක ප‍්‍රණාමය පිරිනමනවා.

අද මේ ස්ථානයට පැමිණුනාට පසුව ඔබේ දෙපාර්තමේන්තුවේ තිබෙන ගැටලු පිළිබඳව මා වෙත යෝජනා නමයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ යෝජනා නමය මට දුන්නේ මෙතනට ආවට පසුව. මෙතනට එන්න කලිින් මට ඊයෙවත් අධ්‍යක්ෂ ජනරාල්තුමා මට මේක එවලා තිබුණා නම් අනිත් අදාළ අංශ භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යංශය, කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒවත් එක්ක කතා කරලා මේ යෝජනා නවයට කළ හැකි, කිරීමට ඇති අසීරුතා සහ කිරීමට තිබෙන පහසුකම් පිළිබඳව අද පිළිතුරු අරගෙන එන්න තිබුණා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය අවුරුදු විස්ස සම්පූර්ණ වූ හෝ සාමාජිකයන්ගේ වයස අවුරුදු පනහ සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු විසි දෙක සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු පනහ සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ට විශ‍්‍රාම වැටුප් සහිතව විශ‍්‍රාම යාමට අවසර ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. මම භාණ්ඩාගාරය සමග සාකච්ඡා නොකළත් මම විශ්වාස කරනවා ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. මුදල් අමාත්‍යංශය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව එක්ක ඔබ වෙනුවෙන් මම සාකච්ඡා කරළා ඔබේ ඉල්ලීමක් විදියට මේ ඉල්ලීම ඔබට ලබාදීමට කටයුතු කරනවා . මම හිතනවා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ඒ කටයුතු කරගන්න පුළුවන් වෙයි.

මට අද උත්තරයක් දෙන්න බැරි එකක් මීළඟ යෝජනාව. දැනට තම බළකා ප‍්‍රදේශවලින් පිටත රාජකාරී සඳහා ආහාර දීමනාවක් ලෙස ලබා දෙනු ලබන්නේ රුපියල් තුන්සිය පනහක දීමනාවක්. නමුත් යුද හමුදාව විසින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලෙස ලබා දුන් වියදම් ලේඛනය අනුව ගණනය කරනු ලද සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් දහනම දහස් තුන්සිය පනහක් දක්වා වැඩි කර ඇත. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන රුපියල් තුන්සිය පනහේ ආහාර දීමනාවද එම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩිකර දෙන ලෙස ඉල්ලමි කියලා. ඇත්තට මේක භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන්න ඕන දෙයක්. මට තනියෙන් උත්තර දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම මේ ගැනත් සාකච්ඡා කරලා ඔබට යම් සහනයක් දෙන්න හැකි නම් ඒ සඳහා මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් උපරිම වගකීම මම ඉෂ්ට කරනවා කියන එක ප‍්‍රකාශ කරන්නට ඕන.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමේ පටිපාටියක් නොමැත. ඇත්තේ උසස් කිරීම් පටිපාටියක් පමණි. ඒ අනුව අලුතෙන් බඳවා ගැනීම් නොමැත. මෙම දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය ප‍්‍රමාණය තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයකි. පසුගියදා යුද හමුදාව විසින් සේවය හැර ගිය සෙබළුන්ට නැවත හමුදාවට භාරවීමට දන්වා තිබූ අතර ඒ අනුව එකොළොස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් යුද හමුදාවට නැවත බැදී ඇත. එම තත්ත්වය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය සාමාජිකයින්ට නැවත සේවයට බඳවා ගැනීම සඳහා ඔබතුමාගේ අනුමැතිය ඉල්ලමි කියලා තවත් යෝජනාවක් තිබෙනවා. ඒ ඉල්ලීම නම් ඉෂ්ට කරන්න අමාරුයි. ඒක නොකියාම බැහැ. දැන් මෙතන මේ කියන ප‍්‍රශ්නයේ දී මේ දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවයේ ක්ෂය වන දෙපාර්තමේන්තුවක් විදියට ඔබේ සේවාවන්වල තිබෙන තත්ත්වය අධ්‍යක්ෂකතුමා පැහැදිලි කරනු ලැබුවා.

මීළඟට පස්වන කාරණය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 542ක් දශක තුනක් තිස්සේ පැවති යුද්ධයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් අතර ත‍්‍රිවිධ හමුදා පොලිසිය සමග කරට කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් ද යුද්ධයේ දී සටන් කරන ලදි. එහෙත් රණවිරු අධිකාරියේ සුභ සාධන කටයුතු සඳහා තවමත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යොදා නොගනී. රණවිරු ස්මාරකයට රණවිරුවන්ගේ බිරියන්ට මලක් පූජාකරන්නට තවමත් අවස්ථාවක් ලබාදී නොමැත. එබැවින් රණවිරු අධිකාරියට මෙම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්නා මෙන් නියෝග දෙන්න කියන ඉල්ලීම. මේක ඉල්ලීමක් වගේම එක පැත්තකින් යම් කිසි මානුෂීය වශයෙන් මට පේනවා සාධාරණයක් ඉටු කළ යුතු දෙයක් කියලා. ඒක රණවිරු අධිකාරියත් සමග සාකච්ඡා කරලා ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන්.

යුද හමුදා රෝහලෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින්ට වෛද්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් තිබෙනවා. මම මේ ගැනත් විශේෂයෙන්ම යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කරනවා, රෝහල්වල දැනට තිබෙන ඉඩකඩ තත්ත්වය සහ සේවය දිය හැකි විශේෂයෙන්ම කාර්ය මණ්ඩල තත්ත්වයන් සැලකිල්ලට අරගෙන ඔබට ඒ සේවාව ලබා දිය හැකිනම් මම ඒ ඉල්ලීමත් කරනවා. මට දැන් කියන්න පුළුවන් කමක් නැහැ රෝහල් පැත්තෙන් මේ සඳහා මොන විදියේ පිළිතුරක් ලැබේද කියලා. නමුත් මම ඒ සඳහා යම් උත්සාහයක් ගන්නවා ඔබ වෙනුවෙන්.

අනිත් කාරණය තමයි තම බළකායෙන් පිටත ප‍්‍රදේශවල පොලිසිවල විශේෂ රාජකාරි සඳහා කටයුතුවලට භටයින් යෙදවීම සිදු නොකොට, තම බළකාය පිහිටි ප‍්‍රදේශවල පිහිටි පොලිසිවලට පමණක් භටයින් යොදවන ලෙස කරන ඉල්ලීම. වෙනත් විශේෂ වූ හදිසි රාජකාරි සඳහා ඕනෑම අවස්ථාවක භටයින් ඕනෑම ප‍්‍රදේශයක රාජකාරි සදඟා යෙදවීමට කැමති අතර, දීර්ඝ කාලීනව තම බළකායෙන් පිටත පොලීසිවල රාජකාරි කිරීමෙන් සාමාජිකයන්ගේ පවුල්වල බරපතළ ගැටලු ඇතිවී තිබෙන බව. මම නම් මේක මේ අවුරුදු හතර හමාරෙම ප‍්‍රතිපත්තියක් විදියටම කියලා තිබෙනවා මේ අය තම තමන්ගේ ඒ ගම් ප‍්‍රදේශවල පොලිසිවලටම සේවයට යැවිය යුතුයි කියන එක. ඒක මම බොහොම තදින් කියලා තිබෙනවා. නමුත් මම හිතන්නේ රජයේ යම් යම් අවස්ථාවල්වල ඇතිවන තත්ත්වයන් එක්ක සේවාවන්වල යොදවනවා ඇති, කරන සංවර්ධන කටයුතු වලදී. නමුත් මම ප‍්‍රතිපත්තියක් විදියට පිළිගන්නවා ඔබේ සේවය ආරම්භක අවස්ථාව ගත්විට ඔබව ගත්තේ ගම රකින්න. ඒ නිසා අඩු වශයෙන් ඔබ ප‍්‍රධාන වශයෙන් ගම් ප‍්‍රදේශවලවත් සේවය කිරීම සුදුසුයි කියන එකයි මගේ අදහස. මේ ගැන අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අවධානය යොමු කර හැකි තරම් ඔවුන්ගේ නිවාස, ගම් අවට තිබෙන ප‍්‍රදේශවලට යැවීමට කටයුතු කරන්නයි කියලා මම මේ වෙලාවේ උපදෙස් දෙනවා. එය කළ හැකි උපරිම අයුරින් සිදු කළ යුතු දෙයක් බව මමත් පිළිගන්නවා.

තිස්වසරක යුද්ධයේදී සිවිල් ආරක්ෂක භටයින් 542ක් මියගිය අතර, විශාල පිරිසක් ආබාධිතයි. මෙම මියගිය හා ආබාධිත භටයින්ට වයස අවුරුදු 55ක් වූ පසු මියගිය අයගේ භාර්යාවන්ට හා ආබාධිතවූවන්ට විශ‍්‍රාම වැටුප් නොලැබේ. නමුත් ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙම විශ‍්‍රාම වැටුප ලැබේ. එම විශ‍්‍රාම වැටුප සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මියගිය අයගේ කලත‍්‍රයන්ට හා ආබාධිත භටයන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබෙනවා. මේකත් භාණ්ඩාගාරය සමග සාකච්ඡා කළ යුතු දෙයක්. මට එකවර උත්තර දීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ කාරණයත් මුදල් අමාත්‍යංශය සමග මම සාකච්ඡා කළ යුතු වෙනවා.

ඒ වගේම ආරක්ෂක සේවා පාසල්වලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන්ගේ දරුවන්ට ඇතුළත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ගැන ආරක්ෂක ලේකම්තුමත් හමුදා ප‍්‍රධානීන් සමග සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ත‍්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩලවල දරුවන් ඒ පාසල්වලට අරගෙන ඉඩකඩ තිබේ නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයගේ දරුවන් ඇතුළු කරන්න වැඩපිළිවෙළක් හදාගන්න පුළුන්. මම බලාපොරොත්තු වෙනවා ඒ විදියේ සාකච්ඡා කරන්න. ඒ අනුව මෙතන තිබෙන යෝජනා අනුව මෙතන යෝජනා තුනක් තිබෙනවා මුදල් අමාත්‍යංශය, භාණ්ඩාගාරය සහ අනෙකුත් රජයේ ආයතන සමග සාකච්ඡා කළ යුතු දේවල්. ඒ වගේම එක යෝජනාවක් මම කෙළින්ම කිව්වා කිරීමට අපහසුයි කියන එක. ඒ වගේම තව යෝජනා කිහිපයක් තිබෙනවා සාකච්ඡා කරන්න ඕන විවිධ ආයතනත් සමග.

ඒ නිසා ඔබේ සේවාවේ වටිනාකම පිළිබඳව ඉහළ ඇගයීමක්, ඉහළ තක්සේරුවක් ලබාදෙන කෙනෙක් විදියට මම මේ යෝජනාවලින් කළ හැකි උපරීම ප‍්‍රමාණයක් ඉෂ්ට කරන්න මම කැපවෙන බව ප‍්‍රකාශ කරනවා.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයේදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය වගේම ඔබ ලබාදුන් සහයෝගය ඉතාමත් විශිෂ්ටයි. ඔබ අද දවසේ කරන කාර්යයත් එසේමයි. ඒ වගේම රට වෙනුවෙන් හෙට දවසෙත් ඔබට වගකීම් සහ යුතුකම් රාශියක් තිබෙනවා. රජයක් විදියට ඔබ සෑම කෙනෙක් කෙරෙහිම අපි විශාල විශ්වාසයක් තබලා තිබෙනවා. ඒ නිසා ඔබේ හැකියාව, දැනුම, කුසලතාවය, නිර්මාණශීලිභාවයන්, කැපකිිරීම් සමග ඉතාම විශිෂ්ට දෙපාර්තමේන්තුවක් විදියට ඔබේ සේවයට තව තවත් විදියට දිය හැකි වරප‍්‍රසාද සහ පහසුකම් ලබාදෙන බව ද ප‍්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය