කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා කටයුතු කිරීමේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශේෂඥතාවය සනාථ කර ඇත - ආරක්ෂක ලේකම්

අප්‍රේල් 17, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීමෙන් ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශේෂඥතාවය සනාථ කර ඇති බවයි.

“මාර්ග බාධක යෙදවීම , නිරෝධායන පහසුකම් ඇතිකිරීම, කොරොන වෛරසය ආසාදිත රෝගීන් සොයා ගැනීම සහ මහා පරිමාණයෙන් විෂබිජහරණය කිරීමේ කටයුතු සදහා මුලපිරීමේ සිට රටේ අවශ්‍යතා සහිත අසරණ පුද්ගලයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සහනාධාර බෙදා හැරීම දක්වා ඔබ කරන ලද සේවයෙන්  ඔබ ඔබේ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබේ. ”අද දින උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ සාමාජිකයින් ආමන්ත්‍රණය කරමින් ඔහු පැවසීය.

යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ ත්‍රිකුණාමලයේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සංචාරය කල අවස්ථාවේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් හමුවූ මේජර් ජෙනරාල් ගුණරත්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔවුන් වෙත සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළේය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ  රජයේ  වැඩසටහනට  සඳහා සහාය දක්වමින්  අවදානම් තත්වයද නොතකා සොල්දාදුවන්, ගුවන් භටයින්, නාවිකයින් සහ පොලිස් බලකායන් ගත් පරාර්ථකාමී උත්සාහයන් ආරක්ෂක ලේකම්ගේ ප්‍රශංසාවට ලක්විය.

“මෙම උත්සව සමයේදී ඔබ ඔබගේ පවුල් පසෙක තබා රට සහ රට වැසි ජනතාව ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම  පිළිබඳව ඔබ සැමට මාගේ කෘතඥතාවය පළ කරමි,” ඔහු පැවසීය.

මේ අතරම, මෙරට බුද්ධි අංශ විසින් කරන ලද දායකත්වය පැසසුමට ලක් කරමින් ඔහු කියා සිටියේ, ඔවුන් පසුගිය පාලන සමයේ පසෙකට දමා, අකර්මණ්‍ය හා අධෛර්යමත්  කර තිබු නමුත් මෙම රජය යටතේ බුද්ධි අංශ ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා සමස්ත බුද්ධි පද්ධතියම ප්‍රතිසංස්කරණය කර ඇති බවයි.

“නිරෝධායන කටයුතු මගහරින පුද්ගලයින් කඩිනමින් සොයා ගැනීම සහ සොයා ගන්නා ලද  කොරෝනා ආසාදිත බව  තහවුරු කරන ලද රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති  පුද්ගලයින් හඳුනා ගැනීම මගින් අද බුද්ධි අංශ සුවිශේෂී ප්‍රතිථල අත්කර ගෙන ඇත,” ආරක්ෂක ලේකම් පැවසීය.

කොරෝනා වෛරසයට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඔහු ප්‍රශංසා කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය,යාපනය නියෝජ්‍ය පොලිස්පති,ජේෂ්ඨ නාවික, ගුවන් විශේෂ කාර්ය බලකා සහ පොලිස් නිලධාරින්, ත්‍රිවිධ හමුදා ජේෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.