ශ‍්‍රී ලංකා – පිලිපීන රාජ්‍ය නායකයෝ හමු වෙති

ජනවාරී 17, 2019

දෙරට අතර ආර්ථික වෙළෙඳ සබඳතා යළි පණ ගැන්වීමට ආර්ථික කවුන්සිලයක්

ආරක්‍ෂක, සංචාරක, කෘෂිකාර්මික සහ අධ්‍යාපනික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමේ නව අවබෝධතා ගිවිසුම් 05 කට ද අත්සන් තැබේ.

ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව ‍ෙක්‍ෂත‍්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් (Rodrigo Duterte) මැතිතුමා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදු වූ අතර එහිදී මේ පිළිබද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කෙරිණි.

එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් (Malacanang Palace) වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ‍්‍රී ලංකා සහ පිලිපීන ජාතක ධජ ලෙළවමින් ඊට එක්ව සිටියහ. එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම සංචාරයට එක් වෙයි. තමා වෙත සිදුකළ මෙම ගෞරවනීය ආරාධනය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා පිලිපීන ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමූ අතර පිලිපීන ජනාධිපතිතුමා කියා සිටියේ දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවල ඓතිහාසික අවස්ථාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරයත් සමග සනිටුහන් වනු ඇති බවයි.

දෙරටටම ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් පුළුල් ලෙස සාකච්ඡා කළ අතර එම කටයුතු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට ද අවධානය යොමු විය.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳව ද රාජ්‍ය නායකයෝ සාකච්ඡා කළහ.

එමෙන්ම දෙරට අතර කෘෂිකාර්මික ‍ෙක්‍ෂත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, කෘෂිකාර්මික තාක්‍ෂණික පුහුණු කටයුතුවලදී ශ‍්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ‍ෙක්‍ෂත‍්‍රයේ සබඳතා ඉහළ නංවා ගැනීමේ වැදගත්කමත්, ආපදා කළමනාකරණ කටයුතුවලදී ද සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

දෙරට අතර ගුවන්ගමන් සේවා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට ලබන මාර්තු මාසයේ දී පිලිපීන නියෝජිත කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවන බව පිලිපීන ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාව කැප ව සිටින බවත්, ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට කි‍්‍රයාවට නංවා ඇති අතර එහි දී දෙරටට සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.

එමෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීම වෙනුවෙන් කැපවීමේ වැදගත්කම නායකයන්ගේ සාකච්ඡාවට බඳුන් වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලීපන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමාගේ කැපවීම අගය කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඒ පිළිබඳ ජාත්‍යන්තරයේම අවධානය යොමුව තිබෙන බව ද කියා සිටියේය.

කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරුව නැවතීමට පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ද අගය කළ ජනාධිපතිතුමා මිනිස් ජාවාරම මැඩලීම සහ කලාපයේ ආරක්‍ෂක කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

කලාපයේ රටවල් ලෙස එල්ල වී ඇති සියලු අභියෝග ජය ගැනීමේ දී සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිතුමා මනා අවබෝධයකින් යුතුව ශ‍්‍රී ලංකා – පිලිපීන සබඳතා දෙරටේම යහපත වෙනුවෙන් ඉදිරියේදී වඩාත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දෙරට අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ඇතිකර ගැනීමටත් පෙර පිලිපීනයේ ජාතික වීරයෙකු වූ ආචාර්ය Jose Rizal මහතා 19 වැනි ශතවර්ෂයේ දී ශ‍්‍රී ලංකාවේ තෙවරක් ම සංචාරය කර තිබෙන බවත්, ඉන් දෙරට අතර අතීතයේ පටන් පැවති මිත‍්‍රත්වය මැනවින් පෙන්නුම් කරන බවත් ය.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබිණි.

ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථික, සංචාරක, කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අත්සන් තැබුණු මෙම නව අවබෝධතා ගිවිසුම් සඳහා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපතිනි අරුණි රණරාජා මහත්මිය අත්සන් තැබුවාය.

මේ අතර පිලිපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා එක් විය.

මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

පිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කිරීම උදෙසා මෙම ස්මාරකය ඉදිකර තිබේ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය