ආරක්‍ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව භාවිතාකල තවත් උතුරේ ඉඩම් අක්කර 1200 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කෙරේ

ජනවාරී 22, 2019

යුද්ධ හමුදාව විසින් ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල උදයාරකට්ටු සහ තවත් ගොවිපොලවල් තුනක් ඇතුළු මූලතිව්, කිලිනොච්චි, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් සඳුදා (ජනවාරි 21) දින නිදහස් කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ඉඩම් නිදහස් කිරීම සඳහා වූ නිල ලේඛණ මූලතිව් මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ දී පැවැති උත්සවයකදී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් භාරගත් අදාළ නිල ලේඛණ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය වහා ක්‍රියාවට නැංවීම පිණිස අතිගරු ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාරදෙන ලදී.

කිලිනොච්චි ප්‍රදේශයේ රාජ්‍ය ඉඩම් අක්කර 972 ක්, මූලතිව් ප්‍රදේශයේ රාජ්‍ය ඉඩම් අක්කර 120 ක්, යාපනය සහ වන්නි ප්‍රදේශයේ රාජ්‍ය ඉඩම් අක්කර 46.11 ක් මෙන්ම යාපනය සහ වන්නි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 63.77 ක් මෙලෙස නිදහස් කරන ලදී.

‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් මුලතිව් ප්‍රදේශයට පැමිණෙන ලදී. මෙහි ප්‍රධාන උත්සවය විද්‍යානන්ද විද්‍යාලයේ දී පැවැත්විණි.

මේ අතර මූලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මූලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 70 ක අධ්‍යාපනය හදාරණ සිසුන් අතරේ අත් පත්‍රිකා බෙදාහරිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කරන ලදී. එමෙන්ම 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව දියත් කරන ලද දිවයින පුරා ගස් මිලියන දෙකක් සිටුවීමේ ‘මිහිකත හෝරාව’ නම් දැවැන්ත රුක් රෝපණ වැඩසටහන ද අතිගරු ජනාධිපතිතුමන් අතින් කිලිනොච්චියේ කෘෂි තාක්ෂණික ආයතනයේ දී ආරම්භ කරන ලදී.