ආරක්‍ෂක ලේකම්තුමන් තම පාසල් මාතාවගෙන් උපහාර ලබයි (යාවත්කාලීන කරන ලද)

ජනවාරී 24, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිය සඳුදා දින (ජනවාරි 21) දින නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී. එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්, නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමයේ රණවිරු සංසදයේ සභාපති මෙන්ම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ පාසැල් නිලධාරින් විසින් පිළිගන්නා ලදී.

අනතුරුව, පාසලේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ආරක්‍ෂක ලේකම්තුමන් මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වන ලදී. ඉන් අනතුරුව විද්‍යාලිය ශිෂ්‍ය භට ඛණ්ඩය විසින් ඔහු වෙත සම්මාන මුරයක් පිරිනමන ලදී. දිවයිනේ කීර්තිමත් පාසලක් වන නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයකු වන හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීම සඳහා දැනට සේවයේ නියුතු සහ විශ්‍රාම ලත් ආදී නාලන්දීය ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්තුමන්, සිය පාසල් කාලය පිළිබඳ අතීත මතකයන් සිහිපත් කල අතර අලුත් පරම්පරාව වෙත පුළුල් අධ්‍යාපනයක් ලබා දීම සඳහා පාසල විසින් සිදුකරනු ලබන විශිෂ්ඨ සේවය පිළිබඳව ඔහු සිහිපත් කළේය. රටේ නිදහස වෙනුවෙන් රණවිරුවන් විසින් කරන ලද සේවය හා කැපකිරීම් පිළිබඳව එතුමන් සිය කෘතඥතාව පළ කළේය.

තම පාසල් කාලය තුල ඔහුට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන් පිළිබඳව සිපත් කල එතුමන් විෂය පථයට පමණක් සිමා නොවී විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහාද ඔවුන්ගේ කාලය, ශ්‍රමය කැපකරමින් පාසල් දරුවන් යොමුකරවීම පිළිබඳව සිය කෘතඥතාව පලකල එතුමන් එසේ ලබාගත් දැනුම සහ පුහුණුව තුලින් ජිවිතයේ විවිධ අභියෝගයන් ජයගැනීමට රුකුලක් වන බව වැඩිදුරටත් පැවසිය. වර්තමානයේ සිසුන් වෙත පාසල් අධ්‍යාපනයට අමතරව විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා යෙදවීමේ ඇති වැදගත්කම එතුමන් අවධාරණය කළේය. තවද තම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරන සේවය කැපවීමෙන් සහ පක්‍ෂපාතීව සිදුකරන ලෙස එතුමන් පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම උත්සවයේ දී ආරක්‍ෂක ලේකම්තුමන්ගේ සේවය අගයමින් විශේෂ සමරු සිහිවටනයක් ද ප්‍රධානය කරන ලදී.

උත්සවයෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් පාසල් භුමිය තුල නිරීක්‍ෂණ චාරිකාවක් ද සිදුකළේය.
මහා සංඝරත්නය, විදුහල්පති, ආදී නාලන්දියන්, පාසලේ කාර්ය මණ්ඩලය සහ සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.