පටු මානසිකත්වයකින් ක්‍රියාකරන්නන් හේතුවෙන් නොසන්සුන්කාරිව නොහැසිරෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි

මැයි 25, 2019

ත්‍රිකුණාමලය, කින්නියා හි කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී වැලි ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (මැයි 23) දින නාවික හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු ඔවුන්ගේ තරාතිරම නොබලා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන බව ඊයේ සවස (මැයි 24) කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසන ලදී.

බදුරලිය පොලිස් කොට්ටාසයේ දික්හේන පාසලේ ආරක්‍ෂක අංශය විසින් ඊයේ (මැයි 23) රාත්‍රියේ දී කරන ලද දැනුම්දීමකට අනුව එම පාසල් පරිශ්‍රයේ තිබී ඇති බෝම්බ කිහිපයක් පොලිසිය විසින් සොයාගන්නා ලදී. එම අත්බෝම්බ යුද්ධ හමුදාව විසින් ආරක්‍ෂිතව පුපුරුවා හැර ඇති අතර අදාළ බෝම්බ එම ස්ථානයේ දමාගිය පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව ඊයේ (මැයි 24) සවස පැවති පුවත්පත් සාකච්ඡාවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පටු අරමුණු ඉටුකරගැනීම සඳහා පොදු ජනතාව අතර අසමගිය ඇතිවන ආකාරයේ කටයුතු කරන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සිදුකරන ක්‍රියා හේතුවෙන් නොසන්සුන්කාරිව නොහැසිරෙන ලෙසත්, ඉතා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටි. පාස්කු ඉරිදා සිද්ධියට සම්භන්ධ තවත් පුද්ගලයන් 5 දෙනෙකු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත බවත් ඔවුන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස් ස්ථානය තුල රඳවාගෙන සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන සිටින සැකකරුවන් සතු රුපියල් මිලියන 134 ක පමණ මුදලක් සහිත බැංකු ගිණුම් 41 ක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර අදාළ ගිණුම් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා අත්හිටුවීමට කටයුතු කර ඇත. මීට අමතරව සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් කෝටි 14 ක්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර ඔවුන් සතු රුපියල් බිලියන 7 ක් වටිනා නිශ්චල සහ චංචල දේපළ පිළිබඳව ද මේ වනවිට පරීක්‍ෂණ කටයුතු සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.