ශ්‍රී ලංකාව සියලු ජාතීන්ට ජීවත්වීමට සුදුසු සාධාරණ හා ආරක්ෂිත රටක් වනු ඇත - ආරක්ෂක ලේකම්

ජුනි 16, 2020

  • බන්ධනාගාර සිර මැදිරිතුල සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාල විනාශ කිරීමට පියවර ගනිමින් සිටිනවා
  • සියලු පුරවැසියන්ට ජීවත්වීම සඳහා සාධාරණ හා ආරක්ෂිත සමාජයක් බිහිකිරීම සදහා මූලික අවධානය

අනාගතයේ දී සියලු ප්‍රජාවන්ට සාධාරණ හා ආරක්ෂිත රටක ජීවත්වීම සඳහා මත්ද්‍රව්‍ය උවදුර, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් ආදියෙන් තොර සමාජයක් ඇතිකරන බවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.

ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (ජුනි 16) දින ජාතික ආරක්ෂාව සහ වෙනත් ආරක්ෂක පියවරයන් ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සදහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් අමතමින් ඔහු පවසා සිටියේ  ජනපතිතුමන්ගේ නියෝග මත ඔවුන්ගේ ජාලයන් බිඳ දැමීම සඳහා කඩිනම් පියවර ගැනීමත් සමඟ පාතාල අපරාධකරුවන්ට ශක්තිමත් වීමට ඉඩක් නොමැති බවයි.

“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් ජංගම දුරකථන භාවිතා කරමින් බන්ධනාගාර සිරකුටිවල සිට සිදුකරන සියලු බාහිර ක්‍රියාකාරකම් නැවැත්වීමේ අධිෂ්ඨානයෙන් ඒ සඳහා ගතයුතු සෑම උත්සාහයක්ම දරමින් සිටිනවා. එවැනි නීති විරෝධී සන්නිවේදන ජාල සොයා ගැනීම සඳහා මේ වනවිටත් අවශ්‍ය සියලු තාක්ෂණික පියවරන් ගෙන තිබෙනවා,” මේජර් ජෙනරාල් ගුණරත්න ආරක්ෂක ලේකම් ධුරයෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුව පළමු වරට නිල වශයෙන් මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

බන්ධනාගාරවල සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද,  කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ ජනාධිපති කාර්ය සාධක බලකා දෙක පිහිටුවීමේ අභිප්‍රාය සහ එහිදී මුහුණපෑමට ඇති අභියෝග පිළිබඳවද ඔහු පැහැදිලි කළේය.

මෙම ක්‍රියාවලිය මුළු බන්ධනාගාර පද්ධතිය සඳහාම ආදේශ කල යුතු නමුත් එහි ප්‍රථිපල එක රැයකින් ලඟා කරගත නොහැකියි. ඒ සඳහා යම්කිසි කාලසීමාවක් ගත වනවා. බන්ධනාගාර වල ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයන් නැවැත්වීම සිය අභිප්‍රාය වන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මෙම කෙටි කාලය තුල සිදුවෙමින් පවතින වෙනස්කම් අප හට දැක ගැනීමට හැකිව තිබෙනවා ”යැයි ආරක්ෂක ලේකම් පැවසීය.

නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කිරීමෙන් පසුව සිදු කරනලද පරික්ෂාකිරීම් වලදී බන්ධනාගාර තුනකින් ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් ප්‍රකාශ  කළේය.

“වසර ගණනාවක් තිස්සේ මේ රටේ බන්ධනාගාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල අපරාධකරුවන්ගේ තෝතැන්නක්  බවට පත්ව ඇති බව රහසක් නොවේ”, ඔහු පැවසීය.

බන්ධනාගාර සිර මැදිරිවල සිට  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගනුදෙනු සහ වෙනත් බරපතල අපරාධ සිදුකරන අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත්, මේ  වන විටත් බුද්ධි අංශ සහ පොලීසිය, විශේෂයෙන් විශේෂ කාර්යය බලකාය සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ එක්ව එම ක්‍රියාකාරකම් මැඩලීමට කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

බන්ධනාගාරවල සිදුවන අක්‍රමිකතා නිවැරදි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ පවත්නා බන්ධනාගාර පද්ධතියේ අඩුපාඩු හඳුනාගෙන ඇති අතර, පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරන බවයි.  

සිදුවිය හැකි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ විමසුමකට පිළිතුරු දෙමින් මේජර් ජෙනරාල් ගුණරත්න  ප්‍රකාශ කළේ එවැනි ප්‍රතිසංස්කරණයන්  සිදුවීමට සුදුසුම කාලය මෙය බවයි.

“පසුගිය මාස හත තුළ පොලීසිය සහ නාවික හමුදාව ඒකාබද්ධ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,300 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා”, ඔහු පැවසුවේ ජනාධිපති ගොඨාභය  රාජපක්ෂගේ පරිපාලනය යටතේ සියලු පුරවැසියන්ට සාධාරණ හා ආරක්ෂිත සමාජයක් ඇති කළ හැකි බව ද පවසමිනි.

පසුගිය මාස හත තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ගැඹුරු මුහුදේ සිදු කළ වැටලීම් සහ විශේෂ ජාවාරම් මර්දන මෙහෙයුම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1200 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත   පැවසීය.

පසුගිය කාලය තුල  මහා පරිමාණ ජාවාරම් ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් 25,000 ක් පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට   හැකි වූ බව ඔහු පැවසීය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත  සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  යන අය  මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.