ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට ආරක්‍ෂක ලේකම්වරයා සහතික වෙයි

ජුනි 26, 2020
  • මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පද්ධතිය තුළ සිටින සතුරා හඳුනා ගෙන තහවුරු කිරීම අවශ්‍ය බව පවසයි.      
  • අනාගත පරපුරට සාධාරණය ඉටුකිරීම සඳහා සියලු නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් නීතිය වෙත ගෙන ඒමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කළේ දුෂිත ක්‍රියාකාරකම්, පාතාල අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි අකටයුතුකම් සඳහා බන්ධනගාර නිලධාරීන්, නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හා වෙනත් නිලධාරීන් තමන්ට පැවරී ඇති බලතල අනිසි ලෙස යොදාගන්නේ නම් ඔවුන්ට එරෙහිව දඩුවම් ලබාදීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවයි.

නිල ඇඳුමෙන් සිට දූෂිත ක්‍රියා සඳහා තමන්ට පැවරී ඇති බලය පාවිච්චි කරන පිරිස් හදුනාගැනීම සඳහා දැනටමත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉහළ බලධාරීන් විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු පැවසීය.

“අපි යුධ හමුදා විද්‍යා පීඨයේ සිටියදී අපට උගන්වා ඇත්තේ වඩාත්ම භයානක සතුරා වන්නේ තමන් තුල සිටින සතුරා බවයි. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා අප තුළ සිටින සතුරා හඳුනාගෙන තහවුරු කරගත යුතුය. එසේ නොවුවහොත් මේ උත්සාහය නිෂ්ඵල වනු ඇත” ආරක්‍ෂක ලේකම් පැවසීය.

අද (ජූනි 26) දින උදෑසන නිට්ටඹුවේ ජාතික අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා පැවැත්වූ මුල්ගල තැබීමේ උත්සවය අමතමින් ඔහු ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සහතික විය.

මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ, පුනරුත්ථාපනය වී නැවත සමාජයට එක්ව ඵලදායී ජීවිතයක් ගත කිරීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට අපගේ අනුකම්පාව සහ සහාය අවශ්‍ය බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කිරීම සඳහා අංග සම්පූර්ණ පුනරුත්ථාපන මධ්‍යස්ථානය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ සහාය ඇතිව ඉදිකෙරෙනු ඇත.

අද දිනට යෙදී ඇති ‘මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම් වලට එරෙහි ජාත්‍යන්තර දිනය’ නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.

වැරදි ක්‍රියාවලින් උපයා ගත් මුදලින් තම පවුල් පෝෂණය කිරීම ගැන පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලැජ්ජා විය යුතු බව පවසමින් ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම දැවැන්ත කාර්යයක් බවත්, අනාගත පරම්පරාවට යුක්තිය ඉටුකිරීම සඳහා සියලු නමගිය මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් නීතිය වෙත ගෙන ඒමට අවශ්‍ය බවත්ය.

මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ මත්ද්‍රව්‍ය වලට ගොදුරුවූ දරුවන් බේරා ගැනීම, අපේ අනාගත පරපුර බේරාගැනීම හා වැරදිකරුවන්ට අනුබල දෙන බලය අනිසි ලෙස භාවිතා කරන නිලධාරීන් හඳුනාගැනීම යන පියවර තුන අනුගමනය කළ යුතු බවයි.

1984 වසරේදී ස්ථාපිත කරන ලද, වසර 36 ක් තිස්සේ ක්‍රියාත්මක වන ජාතික අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ දැක්ම අනුව ‘මත්ද්‍රව්‍ය වලින් තොර, සෞඛ්‍ය සම්පන්න සහ සුරක්‍ෂිත ජාතියක් ගොඩනැගීම’ සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන පහසුකම් පුළුල් කරමින් සිටින බව ජාතික අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්නාත් වෙලගෙදර පැවසීය.

ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා ‘නව දිගන්තය’ නම් නව ගොඩනැගිල්ල ජර්මන් රජය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සමඟ එක්ව ඉදිකරන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන බව ඔහු පැවසිය .

නියෝජ්‍ය ජර්මන් තානාපති ඇන්ඩ්‍රියාස් බර්ග් කියා සිටියේ ඵලදායී අපරාධ යුක්ති ප්‍රතිචාර මගින් ත්‍රස්තවාදය වැළැක්වීම හා එයට එරෙහිව ක්‍රියා කිරීම සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ක්‍රියාකිරීම පිණිස ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන විශාල ව්‍යාපෘතියේ හතර වන ආධාරකය ලෙස මෙම පුනරුත්තාපන මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම සිදු කරනු ලබන අතර මෙය බන්ධනාගාර අංශයේ හැකියාව හා ධාරිතාව ශක්තිමත් කිරීමක් බවයි.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පුළුල් කිරීම තුලින් ව්‍යාපෘතියේ තවත් අරමුණක් පිළිබිඹු කරන අතර මෙය බන්ධනාගාර අංශයේ හැකියාව හා ධාරිතාවය ශක්තිමත් කිරීමකි.

ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය තුල පවතින පහසුකම්  පුළුල් කිරීම මගින් දැනට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් රඳවා සිටින බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට රජය ගන්නා උත්සාහයන්ට මෙය සහාය වනු ඇතැයි බර්ග් පැවසීය.

රට තුළ මත්ද්‍රව්‍ය උවදුරට මුහුණ දීම සඳහා රජය ගන්නා උත්සාහයට මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇති අතර  ගැටළුව විසඳීමේ දී  දඩුවම් ලබාදීම පිළිගත්  ක්‍රමයක් ලෙස නොසැලකෙන බව ඔහු තවදුරත් පැවසුවේය.

“මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා රජය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය  හා අපරාධ පිළිබඳ කාර්යාලය, සිවිල් සමාජය, අධිකරණය සහ බන්ධනාගාර නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.” යැයි ඔහු පැවසිය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය  හා අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා පැවසුවේ COVID-19 වසංගතය හමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගොඩබිම්  මාර්ග සීමා කර ඇති බැවින්,   සමුද්‍රීය මාර්ග වඩාත් ආකර්ශනීය වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි කලාපීය සටනේ ඉදිරියෙන්ම  සිටින  බවයි.

බන්ධනාගාර වල මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා උපදෙස් ලබා දෙන බවට සහතික වෙමින්  කෝල් පැවසුවේ ඔවුන්ව බන්ධනාගාර පද්ධතියෙන් ඉවත් කර පුනරුත්තාපනය කිරීමේ රජයේ නව උපාය මාර්ගයට ප්‍රශංසා කරන බවයි .

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආය්‍යීසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම යන පිරිස  සහභාගී වූහ.