දූෂිතව ඇති බන්ධනාගාර පද්ධතිය ශෝදනය කිරීමට ප්‍රමුඛතාවය - බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් උපුල්දෙනිය

ජුනි 29, 2020

 

බන්ධනාගාර දූෂණයෙන් තොර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අවසන් අනුමැතිය ලැබීමත් සමඟ වසර 200 ක් පැරණි බන්ධනාගාර පද්ධතියට නව මුහුණුවරක් ලබා දීම සඳහාත් ගැඹුරින් මුල්බැස ඇති දූෂණයන් මැඩපැවැත්වීම සදහාත් තමා ඇතුළු තම නිලධාරීන් කණ්ඩායම දැඩි පියවර ගන්නා බව නවතමයෙන් පත් කරන ලද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසීය.

 “රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බන්ධනාගාර පද්ධතියේ දූෂණය වැළැක්වීම සඳහා නිවැරදි දේ කරන විටදී අපව වැළැක්වීමට කිසිවෙකුට නොහැකිය” ඔහු පැවසීය.

defence.lk සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ බන්ධනාගාරවල තදබදය වැඩිවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ සිට පාතාල නායකයින් එහි දැඩි නිරීක්ෂණයන්ට  යටත්ව තබා ගැනීමට ගන්නා පියවරයන් පිළිබඳව හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව පවත්නා බන්ධනාගාර පද්ධතියට වඩාත් මානුෂීය ස්වරූපයක් ලබා දීම සඳහා පද්ධතිය විශෝධනය කිරීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීම සඳහා බන්ධනාගාර පද්ධතිය ඩිජිටල්කරණය කිරීම පිළිබදවයි.

බන්ධනාගාරවල අක්‍රමිකතා හෝ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහි සිදුකරන මහජන පැමිණිලි සහ චෝදනා සඳහා 0112678600 අමතන්න. මහජන පැමිණිලි සදහා පිහිටුවා ඇති විශේෂ ඒකකය මගින් ඒ පිළිබදව කඩිනමින් සොයා බලනු ඇත.

සම්මුඛ පරීක්ෂණයේ උපුටා දැක්වීම් පහත දැක්වේ :

ප්‍ර : මෙරට බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කිරීමේ ප්‍රධාන අභියෝග මොනවාද?

පි : අද අප මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගය වන්නේ බන්ධනාගාරවල පවතින තදබදයයි. අපි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය ගතහොත් ඒවායේ සියයට 300 කට වඩා තදබදයක් ඇති අතර රටේ සියලුම බන්ධනාගාරවලින් සියයට 173 කින් පිරීඉතිරී තිබෙනවා.

මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විශේෂයෙන් කෙටි කාලීන සිර දඩුවම් ලබා දිනපතා බන්ධනාගාර වෙත සිරකරුවන් ඇතුළත් වීමයි. ඔවුන්ගෙන් බහුතරයකට දඩ සහ ඇප මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් සිර දඩුවම් නියම වී තිබෙනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පවතින තදබදය, නිදා ගැනීමට ඉඩ ප්‍රමාණවත් නොවීම සහ අඩු මූලික සනීපාරක්ෂක පහසුකම් හේතුවෙන් රැඳවියන් දරුණු ලෙස පීඩා විඳිනවා.

දෙවන අභියෝගය වන්නේ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ හිඟයයි. මේ වන විට දිවයින පුරා බන්ධනාගාර කළමනාකරණය කිරීමට අපට බන්ධනාගාර නියාමකයින් 1,500 ක පමණ හිඟයක් පවතිනවා.

ප්‍ර : වත්මන් තත්වයට අනුව, තවත් අභියෝගයක් වන්නේ බන්ධනාගාර දූෂණයෙන් තොර ස්ථානයන් බවට පත් කිරීමයි. ඔබ මෙය දකින්නේ කෙසේද?

පි : බන්ධනාගාර පද්ධතියේ දූෂණයන් මැඩපැවැත්වීම සඳහා දෙපාර්තමේන්තුව බොහෝ උපාය මාර්ග අනුගමනය කළ යුතුය. බන්ධනාගාර කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, දූෂණය හා වෙනත් අකටයුතුකම් මෙන්ම නීති පිළිබඳව ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම වෙනුවෙන් අපි දැන් තත්ත්වය විශ්ලේෂණය කරමින් සිටිනවා. දූෂණයන්ට අදාළ දඩුවම්, නීති හා රෙගුලාසි පිළිබඳව ඔවුන් වඩාත් දැනුවත් වූ විට, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නීති විරෝධී ගනුදෙනු වල නිරත නොවනු ඇතැයි මම විශ්වාස කරනවා.

අනෙක් අතට, බන්ධනාගාර කාර්ය මණ්ඩලය දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වීමට පෙළඹවීම අවම කිරීමට කටයුතු කළ යුතුය. මා මෙම තනතුරට පත්වීමට පෙර, බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම්කරුවන්, පාතාල කල්ලි අපරාධකරුවන් බන්ධනාගාරවලට නීති විරෝධී භාණ්ඩ ලබා ගැනීම සඳහා ජේලර්වරුන්ට අල්ලස් ලබා දෙමින් ගනුදෙනු කිරීමට ඔවුන් පොළඹවාලීමේ වාතාවරණයක් බන්ධනාගාරවල පැවතී ඇත. දූෂණයට එරෙහිව සටන් කිරීමට අපගේ නිලධාරීන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා.

ප්‍ර : සමහර පාතාල නායකයින් බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් ලබා දෙන බව ඔබ පැවසුවා. ඔබ මෙය විසඳන්නේ කෙසේද?

පි : ප්‍රකට අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ බරපතලකම පිළිබඳව අපගේ බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කළ යුතුය. අපි ඉතා සෝදිසියෙන් සිටින අතරම  ඔවුන්ට එවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වීමට ඉඩ ලබා දෙන්නේ නැත. බන්ධනාගාර නිලධාරීන් වශයෙන්, සිරකරුවන් හොඳින් හසුරුවා ගැනීම සහ ඔවුන් නිවැරදි කිරීම සම්බන්ධයෙන් අප වගකිව යුතුය. එවැනි දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව දෙපාර්තමේන්තුව දැඩි පියවර ගන්නවා.

ප්‍ර : සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක්  ගොඩනැගීම සඳහා මෑතකදී පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස, අපේක්ෂිත ප්‍රතිඵල ලගා කර ගැනීම  සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව දායක වන්නේ කෙසේද?
 
පි :
මෙය හොඳ පියවරක් වන්නේ ආරක්ෂිත රටක් බිහි කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට රටේ ආරක්ෂක ආයතන සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සමීපව කටයුතු කළ හැකි බැවිනි. අප අභියෝගයන් හදුනාගෙන ඇති අතර එම අභියෝගයන්ට මුහුණ දීමේ ක්‍රමවේදයද අප දැනටමත් හඳුනාගෙන තිබෙනවා. අපරාධ සහ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන වෙනත් විශේෂඥයින් සහ ආයතන සමඟ අපගේ දැනුම හා තොරතුරු බෙදාගන්නවා. මෙම ක්‍රමය තුළ, ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත ප්‍රතිඵල ලබා කර ගැනීමට ක්‍රියා කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.
 
ප්‍ර : බන්ධනාගාරවල පවතින තදබදය ප්‍රධාන අභියෝගයක් ලෙස ඔබ සඳහන් කළා. බන්ධනාගාරවල එම තත්වය ලිහිල් කිරීමේ සැලසුම් මොනවාද?

පි : මම මේ කාරණය පිළිබදව කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කළා. නිසැකවම, නාගරික ප්‍රදේශවල ඇති මෙම බන්ධනාගාර නාගරික ප්‍රදේශවල නැවත ස්ථානගත කිරීමට අපට අවශ්‍ය වන්නේ බන්ධනාගාර පුළුල් කිරීම සදහා ඉඩකඩ නොමැති නිසයි. ගොඩනැගිලි පරණයි. එම බන්ධනාගාර පුළුල් කිරීම සඳහා අප දැනට පවතින ඉඩම් වෙනුවට නව ඉඩම් හඳුනාගත යුතුය.

අනෙක් අතට, බන්ධනාගාර තදබදයට පත්වීමට බලපා ඇති නීතිමය හේතු පිළිබඳව අප අවධානය යොමු කළ යුතු නමුත් මෙම ගැටළුව අපගේ පාලනයෙන් බැහැර ගොස් තිබෙනවා. එමනිසා, මෙම ගැටළුව විසඳීම සඳහා අපට පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහය අවශ්‍ය වෙනවා.

ප්‍ර : ඔබ සිතන්නේ බන්ධනාගාර පිරීම  නීති ප්‍රමාද වීම නිසා ඇති වූවක් බවද ?

පි : ඔව්, යම් දුරකට නීති ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ නඩු විභාග වෙමින් පවතිනවා. විභාග වෙමින් පවතින නඩු කඩිනමින් විසඳීම සඳහා අපි අධිකරණ අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරනවා.

ප්‍ර : මෑතකදී, බුස්ස බන්ධනාගාරය දරුණු පාතාල අපරාධකරුවන් සහ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා වන බන්ධනාගාරයක් බවට පත් කරනු ලැබුවා. මෙම බන්ධනාගාරයට අමතර ආරක්ෂාවක් සැපයීම සඳහා හමුදාව කැඳවීමට ඔබට සැලසුම් තිබෙනවාද?

පි : බුස්ස බන්ධනාගාරය දැන් ප්‍රබල සිරකරුවන් සිරගත කිරීම සඳහා හැකි වන පරිදි උසස් තත්වයේ බන්ධනාගාරයක් බවට පරිවර්තනය කර තිබෙනවා. බුස්ස බන්ධනාගාරය ඇතුලත ආරක්ෂාව අපගේ ජේලර්වරුන් සහ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනවා.

බන්ධනාගාරවල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා හමුදාව වෙත කිසිදු කාර්යයක් පවරා නොමැත.

ප්‍ර : හිටපු බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස, බන්ධනාගාරවල සිදුවන දූෂණ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා ඔබට බන්ධනාගාර බුද්ධි අංශය කෙතරම් ඵලදායී ලෙස භාවිතා කළ හැකිද?

පි : ඔව්, බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන දූෂණ මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. වඩා හොඳ සම්බන්ධීකරණයක් හා බන්ධනාගාර බුද්ධි පද්ධතිය රටේ අනෙකුත් බුද්ධි අංශ සමඟ සම්බන්ධ කර ජාලගත කිරීමෙන් ශක්තිමත් කිරීමට මම සැලසුම් කර තිබෙනවා

සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් විසින් වරින් වර වෙනස් කරමින් සිදු කරන දූෂිත ක්‍රියා හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද අපි ඔවුන්ව පුහුණු කරනවා. සිරකරුවන්ගේ හැසිරීම සහ බන්ධනාගාර තුළ වර්ධනය විය හැකි නව ප්‍රවණතාවයන් පිළිබඳව ද අපි වැඩි අවධානයක් යොමු කරනවා. අපගේ නිලධාරීන් පුහුණු කිරීමට කැමැත්තෙන් පසුවන ජාතික බුද්ධි අංශ සමඟ අපි සමීපව කටයුතු කරන්නෙමු.

ප්‍ර : බන්ධනාගාර නිලධාරීන් දූෂණ ක්‍රියාවන්හි යෙදී සිටින බව ඔබ සිතන්නේ ඇයි? ඒ ඔවුන් අඩුවෙන් ගෙවීම් ලබන නිසාද?

පි : මේ සදහා හේතු රාශියක් තිබෙන බැවින් මට එක් හේතුවක් හදුනාගත නොහැකියි. සැබෑ හේතු හඳුනා ගැනීම සඳහා අප මේ පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුයි. දූෂණයන් පවතින බොහෝ රාජ්‍ය ආයතනයන් අතුරින්  බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක් රාජ්‍ය ආයතනයකි.

බන්ධනාගාර නිලධාරීන්ට අඩු වැටුප් ලැබෙනවා කියන ප්‍රකාශයට  මම එකඟ නැහැ. ඔවුන්ට හොඳ වැටුපක් ලැබෙන අතර ඔවුන් අඩු වැටුප් ගෙවා ඇති නිසා දූෂණයට සම්බන්ධ බව කිසිවෙකුටත් සාධාරණීකරණය කළ නොහැකියි.

මගේ මතය නම්, ඔවුන් පැළඳ සිටින නිල ඇඳුමට ගරු කිරීම සඳහා නිලධාරීන් අතර කඩිනම් ආකල්පමය  වෙනසක් තිබිය යුතු බවයි. මෙය විසඳීමට අප සැලසුම් කර ඇති අතර ඉතා ඉක්මණින් මෙම තත්වයෙන් මිදීමට කටයුතු කරනවා.

බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) සහ බන්ධනාගාර පුහුණු විද්‍යාලය සමඟ මම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඒවා අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටිනවා. අපගේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහ හමුදාවේ සහය ද අපට ලැබෙනු ඇත.

ප්‍ර : ඔබේ නිලධාරීන් අතර ආකල්පමය වෙනසක් සිදු කිරීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
 
පි :
සිරකරුවන් යනු සිය පවුල, අධ්‍යාපනය, ගෞරවය, ආදායම සහ වෙනත් දෑ අහිමි වූ අයයි. බොහෝ සිරකරුවන් අපරාධවල මහ මොළකරුවන් වුවද ඔවුන් ලබා තිබෙන්නේ අඩු අධ්‍යාපනයකි. මෙම රැඳවියන් හැසිරවීම සදහා අපගේ නිලධාරීන්ට හොඳ අධ්‍යාපනයක් හා වෘත්තීය හැකියාවක් තිබිය යුතුය.

එබැවින් අපගේ නිලධාරීන් වඩා වෘත්තීය නිලධාරීන් බවට පත් කිරීම සඳහා ධාරිතා වර්ධන වැඩසටහන් තිබිය යුතුය.

ප්‍ර : බන්ධනාගාරවල සේවය කිරීමේදී ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා විදේශීය සහාය ලබා ගැනීමට ඔබට සැලසුම් තිබේද?

පි : ඔව්, ඔවුන්ගේ විශෝධන සේවාවන් ස්ථාපිත කර ඇති සමහර රටවල් සමඟ අපි සංවාද පවත්වා තිබෙනවා. මෑතකදී මාලදිවයින ඔවුන්ගේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශෝධන සේවා ලෙස වෙනස් කර තිබෙනවා. අනාගතයේදී මා කළ යුත්තේද මෙයයි. එබැවින් අපගේ බන්ධනාගාර නිලධාරීන් විශෝධන වෘත්තිකයන් බවට පරිවර්තනය කළ යුතු වෙනවා.

ප්‍ර : බන්ධනාගාර නිලධාරියෙකු විශෝධන නිලධාරියෙකුගෙන් වෙනස් වන්නේ කෙසේද?

පි : බන්ධනාගාර නිලධාරියෙකු වෘත්තීය මට්ටමින් සිරකරුවන් ශාරීරිකව හැසිරවිය යුතු ආකාරය  උගන්වනු ලබනවා. විශෝධන නිලධාරියෙකු සිරකරුවාගේ ආරක්ෂාව මෙන්ම හැඟීම් ද හැසිරවිය යුතුය. ඔහු සිරකරුවන්ගේ හැඟීම් සහ ඔවුන්ගේ හැසිරීම හඳුනාගත හැකි පුද්ගලයෙකු විය යුතුය. ඔහු මනුෂ්‍යත්වයට ගරු කරන පුද්ගලයෙකු වනු ඇත.

ප්‍ර : ඔබ බන්ධනාගාර නිලධාරීන්ගේ තත්වය ඉහළ නැංවීම සඳහා දියත් කිරීමට යන සුභසාධන වැඩසටහන් මොනවාද ?

පි : අපගේ සීමිත අයවැය ප්‍රතිපාදන තුළින් නිලධාරීන් සඳහා අපි සුභසාධන වැඩසටහන් රාශියක් දියත් කර තිබෙනවා. එහෙත් තවමත්, ඔවුන්ට වඩා හොඳ සේවා පරිසරයක් ලබා දීම සඳහා අප විසින් වැඩිදියුණු කළ යුතු අංශ තිබෙනවා. අප සොයා බැලිය යුතු එක් ප්‍රධාන අංගයක් වන්නේ ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සැලසීමයි. ඔවුන්ගේ වාසස්ථාන සුදුසු මට්ටමක නොමැති බව පැවසීමට සිදුවීම කනගාටුවට කරුණක්. සමහර නිල නිවාස සිරකරුවන්ගේ නවාතැන් වලට වඩා පහත් මට්ටමක තිබෙන්නේ. එවැනි ගැටළු සඳහා ද අප අවධානය යොමු කළ යුතු වනවා.

ප්‍ර : සංඛ්‍යාලේඛනවලට අනුව නැවත බන්ධනාගාර ගත වීම ඉහළයි. බන්ධනාගාර පුනරුත්ථාපන පද්ධතියේ යම් යම් අඩුපාඩුකම් ඇති බව මෙයින් පෙන්නුම් කරනවාද?

පි : අප වෙනත් රටවල සංඛ්‍යාලේඛන සමග සංසන්දනය කරන විට, ශ්‍රී ලංකාවේ නැවත වරදකරුවන්  බවට පත්වීමේ  අනුපාතය සමඟ එතරම් වෙනසක් නැත, එය 39% කි .එයින් 80% ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන අතර, එමඟින් අපගේ නැවත බන්ධනාගාර ගත වීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතිනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වෙනත් බන්ධනාගාර රැඳවියන්ගෙන් වෙන් කර තැබීමට ඔවුන් සඳහා වෙනම පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීමට අපි යෝජනා කරනවා. අනෙක් අතට, අපගේ නිලධාරීන් අපරාධකරුවන් හැසිරවීමට මනා පුහුණුවක් ලබා ඇති නමුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හැසිරවීම සදහා එවැනි පුහුණුවක් ලබා නැහැ එය උපදේශන සේවාව අවශ්‍ය වන වෙනමම විශේෂ ක්ෂේත්‍රයකි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මාස තුනක සිර දඩුවමක්  ලබා දී  නැවත සමාජගත කරනු ලබනවා. සති දෙකක් ඇතුළත ඔවුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහාම නැවත බන්ධනාගාර ගතවනවා. ශ්‍රී ලංකාව තුළ ඉහළ නැවත බන්ධනාගාර ගතවීමේ  අනුපාතයක් වාර්තා කිරීමට හේතුව මෙයයි.

අද වන විට, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා අඹේපුස්ස සහ කන්දකාඩු යන  පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක වන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පහසුකම් වැඩි කිරීම සහ බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා වීරවිල තවත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපි සැලසුම් කර තිබෙනවා.

ප්‍ර : රැඳවියන්ට ලබා දෙන වෘත්තීය පුහුණු පාඨමාලා බොහොමයක් රැකියා සදහාම ඉලක්කගත පාඨමාලා නොවේ. වෙළඳපොලේ ඇති රැකියා ඉල්ලුම සපුරාලීම සඳහා ඔබ වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීමට යනවාද?

පි : ඔව්, අපි බන්ධනාගාර රැඳවියන් සඳහා නව පුහුණු පාඨමාලා හඳුන්වාදීම සඳහා පෞද්ගලික අංශය සමඟ වැඩි සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයෝජන මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් මහර  බන්ධනාගාරයේ ද, ඒ හා සමානව  තවත් ව්‍යාපෘතියක් වර්තමානයේ පෞද්ගලික අංශයේ සහාය ඇතිව වැලිකඩ  බන්ධනාගාරයේ ද සිදුවෙමින් පවතී. එය කැබිනට් මණ්ඩලයේ අනුමත පෞද්ගලික-රාජ්‍ය සහයෝගිතා  වැඩසටහනකි.

ඇවන්ට් ගාඩ් සමාගම විසින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින බන්ධනාගාර රැඳවියන් සඳහා මාස තුනක වෘත්තීය  පුහුණුවක් ද ලබා දෙනවා. මෙය රැකියා පාදක කරගත්  පුහුණුවක් වන අතර තෝරාගත් බන්ධනාගාර රැඳවියන් දිවා කාලයේ පිටත රැකියාවක නිරත වීමෙන් අනතුරුව  නැවත බන්ධනාගාරයට පැමිණෙනවා. ඔවුන්ට වැටුපක් හිමිවන අතර එය ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කෙරෙනවා. එම මුදල් බන්ධනාගාරයෙන් නිදහස් වන විට ආපසු ලබා ගත හැකි අතර හදිසි අවශ්‍යතාවයකදී ඔවුන්ට එයින් මුදල් ගත හැකිය.
 
ප්‍ර : බන්ධනාගාර පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ගැන ඔබ කතා කළා. එහි ප්‍රගතිය කුමක්ද?
 
පි :
අපි බන්ධනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතිය මේ වන විට ආරම්භ කර ඇත. මෙහිදී වැරදිකරුවෙකු සිරගෙයකට ඇතුළත් කිරීමේ සිට ඔහු නිදහස් කිරීම දක්වා වන සියලුම පරිපාලන කටයුතු මෙම පද්ධතියට ඇතුළත් වෙනවා. දෙපාර්තමේන්තුව දැනටමත් ජාලකරණය සහ පද්ධතිය සඳහා වන යටිතල පහසුකම් අවසන් කර තිබෙනවා. බන්ධනාගාර 15 ක් ඩිජිටල්කරණය කිරීම තවමත් අවසන් වී නොමැති අතර පද්ධතියට දත්ත ඇතුළත් කිරීම ද  ඉතිරිව තිබෙනවා. මෙම වසර අවසන් වීමට පෙර සමස්ත ක්‍රියාවලියම අවසන් කිරීමට අපි සැලසුම් කරනවා.

ප්‍ර : දෙපාර්තමේන්තුවට සෘජුවම පැමිණිලි කිරීමේ හැකියාව  මහජනයාට තිබේද?

පි : ඔව්, බන්ධනාගාරවල අක්‍රමිකතා හෝ අපගේ නිලධාරීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් මහජන පැමිණිලි සඳහා පිහිටුවා ඇති විශේෂ ඒකකයේ දුරකථන අංකය වන  0112678600 අමතා පැමිණිල්ල ඉදිරිපත් කල හැකි  අතර වහාම ඒ පිළිබද  සොයා බලනු ඇත. පැමිණිලිකරු සිරකරුවෙකු, සිරකරුවෙකුගේ ඥාතියෙකු, නිලධාරියෙකු හෝ බාහිර පුද්ගලයකු විය හැකි අතර මෙම ඒකකයට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් අපි සියයට සියයක් රහස්‍යභාවය පවත්වා ගන්නවා .

ප්‍ර :මිගමුව බන්ධනාගාරයේ ‘සුඛෝපභෝගී සිරමැදිරිය’ පිළිබද හෙලිදරව් වීමත් සමඟම, වෙනත් සිරගෙවල්වල ද එවැනිම සිරමැදිරි පවතිනු ඇත්දැයි දැන ගැනීමට ජනතාව වඩාත් විමසිලිමත් වී තිබෙනවා නේද?

පි : නැත, එය නීතිය යටතේ පිළිගත නොහැකි අතර ඔවුන් එම පහසුකම් ලබා දී ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ සමහර නිලධාරීන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත ය. අපි මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සිරකරුවන්ට එවැනි පහසුකම් සැපයීමට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
අනාගතයේදී කිසිදු බන්ධනාගාරයක සිරකරුවන්ට එවැනි විශේෂ ප්‍රතිකාර ලබා දීමට දෙපාර්තමේන්තුව ඉඩ නොතබන අතර අපි සියලුම බන්ධනාගාර රැඳවියන්ට සමානව සලකනු ලබනවා.
 
ප්‍ර : මීට සති කිහිපයකට පෙර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාතාල අපරාධකරුවන්ට සහාය දක්වන බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පි : බන්ධනාගාර පද්ධතිය දූෂණයෙන් තොර කිරීම ද අපට අවශ්‍ය බැවින් එය හොඳ පියවරකි. අප පළමුව රටේ නීතියට ගරු කළ යුතු අතර වැරදිකරුවන් විනය රෙගුලාසි යටතේ දඩුවම්  ලැබිය යුතුය. එවැනි නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා බන්ධනාගාර නිලධාරීන් හසු වුවහොත්, අපි පළමුව අභ්‍යන්තර පරීක්ෂණ පවත්වන අතර, පසුව නීතිමය පියවර ගැනීම සඳහා එම නඩුව  පොලීසියට භාර දෙනු ඇත.

නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ බවට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපයට කැළලක් කර  ඇති බවට චෝදනා ලද  නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය  අප දැනටමත් තහනම් කර තිබෙනවා. මෙම නඩු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

කිසිදු නිලධාරියෙකුට දූෂණයට සම්බන්ධ වීමට හෝ  බන්ධනාගාර පද්ධතිය තුළ අපරාධකරුවන්ට සහාය වීමට ඉඩක් නැත. අවංකව  කැපවී සේවය කරන බොහෝ නිලධාරීන් අතර සිටින දූෂිත නිලධාරීන්ට එරෙහිව මම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.

ප්‍ර : බන්ධනාගාර පද්ධතිය පිරිසිදු කිරීමට සහ සුරක්ෂිත ජාතියක් සඳහා රජයේ උත්සාහයට  සහාය වීමට ජනාධිපතිවරයා ඔබව පත් කර තිබේ. ඔබට මෙම උත්සාහය ජයගත හැකි බව ඔබට විශ්වාසද?

පි : ඔව්, මගේ වසර ගණනාවක දැනුම, පුහුණුව, පළපුරුද්ද සහ හැකියාව උපයෝගී කරගනිමින් බන්ධනාගාර පද්ධතිය දූෂණ රහිත පද්ධතියක් බවට පත්කිරීමට මට හැකි උපරිමය කළ හැකි බව මට විශ්වාසයි. දෙපාර්තමේන්තුවේ හොඳ නම ආරක්ෂා කිරීමට  හා  පද්ධතිය පිරිසිදු කිරීම සඳහා උද්යෝගිමත් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ද මට ලැබෙනවා.

ප්‍ර : මීට පෙර, සමහර අවංක  බන්ධනාගාර නිලධාරීන්ට  අපරාධකරුවන්ගෙන් තර්ජන එල්ල ඇති අතර ඔබටත් ඔබේ නිලධාරීන්ටත් එවැනි තර්ජන එල්ල වී තිබෙනවාද?

පි : ඔව්, සමහර නිලධාරීන්ට යම් තර්ජන එල්ල වී ඇති බව මම අසා ඇත්තෙමි. නමුත් එම තර්ජනයන්ට බිය වී අපගේ කාර්යය නතර නොකරමු. අපි දැනටමත් එම හිමිකම් පිළිබඳව විමර්ශනය ආරම්භ කරලා  තියෙන්නේ  රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති පද්ධතියේ දූෂණ මැඩපැවැත්වීම සඳහා නිවැරදි දේ කරන මම  සහ මගේ නිලධාරීන් කණ්ඩායම ,ඔය කිසිම දෙයක් නිසා පසුබට වෙන්නේ නැහැ.  .
 
ප්‍ර : ඔබේ සේවා කාලය තුළ ඔබ බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ බන්ධනාගාර පද්ධතියක්ද?
 
පි :
ලෝකයේ සියලුම බන්ධනාගාරවල යම් ප්‍රමිතීන් පවත්වා ගෙන යන අතර බොහෝ විට ‘නෙල්සන් මැන්ඩෙලා නීති’ බන්ධනාගාර නඩත්තු කිරීම සඳහා පදනම් කරගනී. කාන්තාවන් සඳහා බන්ධනාගාර නඩත්තු කිරීම වෙනුවෙන් බැංකොක් නීති ක්‍රියාත්මක වන අතර බන්ධනාගාරගත බාල වයස්කරුවන් සඳහා බීජිං නීති ක්‍රියාත්මක වේ.

එබැවින් අප විසින් සිදු කරන මෙහෙයුම් මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෙනස් කළ යුතුය. එම ප්‍රමිතීන්ට අනුව, එය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පමණක් නොව, සමස්ත බන්ධනාගාර පද්ධතියම සිරකරුවන්ට වඩාත් මානුෂීය බවට පත් කිරීම සඳහා වෘත්තීයභාවය පවත්වා ගැනීමත් මෙයින් සිදුවේ.

ඇත්ත වශයෙන්ම රටේ සියලුම බන්ධනාගාර විශෝධන  මධ්‍යස්ථාන බවට පරිවර්තනය කළ යුතු අතර එමඟින් අපරාධකරුවන් නොව යහපත් මිනිසුන් නැවත සමාජයට මුදා හරිනු ඇත.