නිවැරදි කාලගුණ අනාවැකි පළ කිරීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ආරක්ෂක ලේකම්ගේ ප්‍රශංසාව

ජුනි 29, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවැරදි කාලගුණ අනාවැකි ලබාගැනීම සඳහා නව උපකරණ, විශ්ලේෂණ මෘදුකාංග සහ පද්ධති ඉක්මනින් ලබා ගැනීමට නියමිත බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

අද දින (ජුනි 29) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සංචාරයක් සිදු කල ආරක්ෂක ලේකම්, සම්පත් වල සීමාවන් නොතකා මේ වන විට වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි සැපයීම පිළිබඳව නිලධාරීන්ට ප්‍රශංසා කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්වූ පසුව ඔහු විසින් සිදු කල පළමු සංචාරය මෙය වන අතර වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. කරුණානායක විසින් ආරක්ෂක ලේකම් උණුසුම් අයුරින්  පිළිගනු ලැබීය.

දැනට පවත්නා දෙපාර්තමේන්තු විෂමතා, උසස්වීම් හා වැටුප් වැඩිවීම් සම්බන්ධ ගැටළු කඩිනමින් විසදීම සදහා කටයුතු කරන බවද ඔහු පැවසීය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා නිරීක්ෂණයන්  වර්ෂ 1867 දක්වා දිව යයි. පසුව, වර්ෂ 1909 සිට කොළඹ නිරීක්ෂණාගාරය විසින් මෙය දිගටම සිදු කරගෙන යන ලදී.

මෙම දෙපාර්තමේන්තුව කාලගුණය සහ දේශගුණික සේවා සැපයීමේ ප්‍රධාන අරමුණින් 1948 දී මුලින්ම පිහිටුවන ලදී. එය ප්‍රධාන කොට්ඨාශ පහකින් සහ උප කොට්ඨාශ 23 කින් සමන්විත වේ.