පාතාලය, මත්කුඩු ජාවාරම හා අනෙකුත් නීතිවිරෝධී ක්‍රියා මැඩීමට ඉහල පොලිස් නිලධාරින් ක්‍රියා කල යුතුයි - ආරක්‍ෂක ලේකම්

ජුනි 30, 2020
  • දුෂිත නිලධාරින් ගෞරවනීය පොලිස් නිල ඇඳුම ඇඳීම ගැන ලැජ්ජාවිය යුතුය
  • දේශපාලඥයින්ගෙන් ‘හොඳ පුතා’ යැයි අසා ගැනීම ගෞරවයක් නොවේ
  • නිල ඇඳුමේ ගෞරවය රැකගන්න කැපවෙන්න   

මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු බව ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

“තමා රාජකාරී කරන ප්‍රදේශ වල විවිධ බලවේග වලට යටත් නොවී, තමාගේ නිල ඇඳුමේ ගෞරවය රැකගැනීමට මේ නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවීමට ඉඩදෙන්න එපා. මේ සිදුවන වැරදි වලින් ඒ පළාත් වල සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා සියළුම පොලිස් නිලධාරීන්ට තමන්ගේ අත් සෝදා ගන්න බෑ. ඒ සියළු දෙනාම අදාල පළාත් වල අපරාධ වැඩිවීමට වගකිව යුතුයි. ” ආරක්‍ෂක ලේකම් පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා පොලිසියේ සියළුම පළාත් නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය.

“තමන්ගේ රාජකාරිය තවත් එක් රස්සාවක් විදියට ගණන් ගන්න එපා. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත හා පැවැත්ම තියෙන්නේ තමුන්නාන්සේලාගේ අතේ. රටේ හමුදාවට තියෙන වගකීම වන්නේ විශාල ව්‍යසනයකදී ත්‍රස්තවාදී හෝ සතුරු කරදරයකදී ස්වභාවික ව්‍යසනයක් වන නාය යෑමකදී හෝ ගංවතුරකදී එහෙමත් නැත්නම් කොවිඩ් වැනි වසංගතයකදී ඉදිරියට ඇවිල්ලා රටේ ජනතාව ආරක්‍ෂා කරන එක. ඒත්, ඔය ගොල්ලො තමයි රටේ ජනතාවගේ හද ගැහෙන රාවය හඳුනන, ඒ අයගේ ජීවිත ගැන වගකියන්න ඕන පිරිස. ඔබට පැවරී ඇති කාර්ය භාරය ඉතා විශාලයි.” ඔහු පැවසීය.

බොහෝ පොලිස් නිලධාරීන් ඉතා ගෞරවාන්විත සේවයක් ඉෂ්ඨ කරන බවත් තමා එය ඉතාමත් අගය කරන බවත් එහෙත් සමහර නිලධාරීන් පොලිස් සේවයට අගෞරවයක් ලෙස හැසිරෙන බවත් එය කණගාටුවට කරුණක් බවත් ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී පැවසීය.

බොහෝ පොලිස් කොට්ඨාශවල තියෙන පොලිස් බල ප්‍රදේශවල මහජනතාවගෙන් පොලිසියේ අකාර්යක්‍ෂමතාවය සහ ප්‍රදේශයේ අපරාධකරුවන් සමඟ එම නිලධාරීන් පවත්වන සම්බන්ධතාවයන් පිළිබඳව තමාට ලිපි ලැබෙන බවත් ආරක්‍ෂක ලේකම් පැවසීය.

“ආරක්‍ෂක ලේකම්තුමණි, පොලිසියට කොච්චර කිව්වත් වැඩක් නැහැ. අපි කුඩු ජාවාරම් කරුවන් ගැන පැමිණිලි කරල පහුවදාට කුඩු ජාවාරම් කරුවන් අපට තර්ජනය කරනවා අපේ පවුල් නැති කරන බව කියලා.” මෙහෙම තත්වයක් ඔබලා නියෝජනය කරන පළාත් වල පවතිනවා නම් මොකක්ද පොලිසියේ ගෞරවය”. තමාට විවිධ ප්‍රදේශ වලින් එවන ලද ලිපි පෙන්වමින් ආරක්‍ෂක ලේකම් වරයා විමසීය.

“මෙම සිදුවීම්වලට අදාල පොලිස් ස්ථානවලට අයත් උසස් නිලධාරීන් අද මෙතන ඉන්නවා නම් ලැජ්ජා වෙන්න ඕන. සමහර පොලිස් ස්ථාන වල ආරක්‍ෂාව යටතේ කිසිදු බියක් සැකයක් නැතිව ඇඳිරි නීතිය ඉතාම තදින් තියෙන වෙලාවල දිවා රෑ නොමැතිව මත් කුඩු ජාවාරම් පවත්වාගෙන යනවා. පොඩි ළමයි, මෝටර් බයිසිකල් හා ත්‍රිවීල් යොදාගෙන මත්කුඩු බෙදාහැරීම කරනවා. උතුරේ එක්තරා පොලිස් ස්ථානාධිපති කෙනෙක් තවත් උසස් නිලධාරියෙකු සමඟ එකතුවී නීති විරෝධී ගණුදෙනු නිදහසේ කරගෙන යාම සඳහා ඉඩදීමට අපරාධකරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බව දන්වා මට ලියුම් ඇවිල්ල තියෙනවා,” යැයි පැවසූ මේජර් ජෙනරාල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යාංශය වෙතින් මේ වසරේ අප්‍රේල් 05 වන දින නිකුත් කළ ලිපියක් මඟින් ඒ ඒ පොලිස් බල ප්‍රදේශවල සිදුවන පාතාල, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබඳව වාර්ථාවක් සකස් කොට කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරුන් විසින් පොලිස්පති වෙත ලබාදෙන ලෙස දන්වා සිටියත් මාස දෙකහමාරක් ගතවුවත් තවමත් එම වාර්ථාව නොලැබී ඇති නිසා ආරක්‍ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ඒ පිළිබඳ තදින් සොයා බලන ලෙස පැවසීය.

“ඒ ලිපිය ක්‍රියාත්මක වීමට මාස දෙකහමාරක කාලයක් ගන්නේ නම් අපි කොහොමද වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනයන්නේ,” යැයි ප්‍රශ්න කල ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් හෝ පොලිස්පතිතුමාගෙන් යම් උපදෙසක් ලැබූ විට එය යම් සංස්ථාවක් හෝ රජයේ අනිකුත් ආයතනයකින් ලැබුණු  උපදෙසක් ලෙස නොසලකන ලෙසත්, එම නිලධාරීන් ජාතික ආරක්‍ෂාවට වගකිව යුතු බවත්, පොලිස් නිලධාරීන් මහජනතාව නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් සැදීමට දායක වන ප්‍රධානතම නිලධාරීන් බවත් මතක තබාගන්නා ලෙස අවවාද කලේය.

“මම බන්ධනාගාර නිලධාරීන්ට කියපුදේම ඔබලාටත් කියන්න ඕන. අදින් පස්සෙ තමන්ගෙ රාජකාරිය අකුරට ක්‍රියාත්මක කරන්න. කවුරුන් හෝ තමන්ගේ රාජකාරියට බාධා කරනවානම් මට කියන්න. සෑම දෙනාම අමාත්‍යාංශයට අද කැඳවූයේ නිල ඇඳුමේ ගෞරවය රැකගෙන මින් ඉදිරියට වැඩ කරන්න කියන ඉල්ලීම කරන්න. ඒක ඔබලාගේ වගකීම. තමුන්නාන්සේලාගේ බලප්‍රදේශය කුමන දේශපාලන පක්‍ෂයකට අයත් වුණත් මහජනතාවට හිරිහැර කරන්න දෙන්න බැහැ. ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මේවා බලන්න ඕන. පුද්ගලික නාම, ලාභ, වාසි ලබාගෙන දේශපාලනයට යටත් වෙලා වැඩකරන දේශපාලකයෙක්ගෙන්  ‘හොඳ පුතා’ කියල අහගත්තා කියලා කිසිම නිලධාරියෙක් වැදගත් නිලධාරියෙක් වෙන්නේ නැහැ.” ඔහු පැවසීය.

“ඔබ හැම දෙනාම මතක තියාගන්න ඕන හොරකමක්, මිනීමැරුමක්, කුඩු ගංජා කසිප්පු ජාවාරමක් තමන්ගේ ප්‍රදේශවල වෙනවා නම් ඒවාට තමුන් වගකියන්න ඕන. එම නිසා පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් යටතේ පොලිස් ස්ථාන දොළහක් තියෙනවා නම් ඒ ස්ථානාධිපතිලා දොළොස් දෙනා ඒ ප්‍රදේශ වල සිදුවන අපරාධවලට වගකියන්න ඕන. කිසිම වගකීමක් නැති නිලධාරියෙක් ඉන්නවා නම් මට හෝ පොලිස්පතිතුමාට දැනුම් දෙන්න,” යැයි පැවසූ ආරක්‍ෂක ලේකම්තුමා එලෙස අනුන් ගැන ඉහළ තැන් වලට දැනුම් දෙන නිලධාරීන් කාටත් හොඳින් නිල ඇඳුමේ ගෞරවය රැකෙන විදියට රාජකාරි කල අයෙක් විය යුතු බව පැවසීය.

මත්කුඩුකාරයෝ නිසා ගල්කිස්ස හා පානදුර වෙරළේ හැන්දෑවේ සංචාරකයින්ට හෝ පවුලකට නිදහසේ ඇවිදින්න බැහැ. කොළඹට නුදුරු ප්‍රදේශයක පාතාල අපරාධ කරුවෙක්ගේ ගෝලයෙක් විශාල වගුරු බිමක් ගොඩ කරනවා. විශේෂ කාර්ය බලකාය දාලා එය නතර කලා. ඒත් එම ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන්ගෙන් ඇහුවම ඔවුන් මේ ගැන දැනුවත් නෑ. මල් වට්ටියක හෝ සාක්කුවක දාගෙන කුඩු විකුණන එක දැක්කෙ නැහැ කියල හිතන්න පුළුවන් ඒත්, මහ දවල් බැකෝ යන්ත්‍ර 4 - 5 ක් යොදාගෙන අක්කර ගාණක වගුරු භූමියක් ගොඩ කරන කොට දැක්කෙ නෑ කියලා කියන්න පුලුවන්ද ? ” ආරක්‍ෂක ලේකම් ඇසීය.

ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන කාරණා 10 ක් තිබෙන අතර එයින් ප්‍රධානව සදහන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව බවත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්  පත්කරන ලද සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සාමාජයක්  ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම නිදහසේ බියෙන් සැකෙන් තොර රටක් ඇති කිරීම බව ඔහු පැවසීය.

“කඩුවෙල ගොටුකොළ විකුණන අම්මා කෙනෙකුගෙන් රු. 5000 ක කප්පමක් ගන්නවා. අනේ ලේකම්තුමා මෙහෙ පොලිසියට කිව්වට වැඩක් නෑ. කියල මට දුරකථන ඇමතුම් ආවා.  අවුරුදු 60 – 70 ක අම්මා කෙනෙකුටත් කප්පමක් දෙන්නෙ නැතිව ගොටුකොල මිටියක්වත් විකුණගන්න බැරිනම් අපි කොහොමද රටේ ආරක්‍ෂාව හෝ පොලිසිය ගැන කථා කරන්නේ,” යැයි පැවසූ මේජර් ජෙනරාල් ගුණරත්න මහතා සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීමට ඉතා ඉක්මණින් කටයුතු කරන බවත්, එවන් සැකකරුවන් බොහෝ දෙනක් මේ වන විට බන්ධනාගාර ගත කර ඇති බවත් ප්‍රකාශ කළේය.

“මේ රටේ මිනිසුන්ට සාමයෙන් සතුටින් කරදරයක් නැතිව පාතාල, කසිප්පු, කුඩු, පගා ගැහිලි, කප්පම් නැතිව නිදහසේ ජීවත්වීමට හැකි රටක් ඇති කිරීමට ඔබලාට විශාල වගකීමක් තියෙනවා,” යැයි ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පැවසීය.
තම පළාත්වල පාසල් ළමුන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමෙන් ඈත් කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමටද එම නිලධාරීන්ට උපදෙස් දුන් ආරක්‍ෂක ලේකම්වරයා ගෞරවාන්විත මහජන සේවයක් කිරීමට කැපවී සේවය කරන ලෙස සියළුම පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එදින ශ්‍රී ලංකා පොලිසියේ සිව්දෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකු වෙත ඔවුන් සිදුකරන ලද රාජකාරියේ විශිෂ්ඨභාවය අගය කරමින්  ආරක්‍ෂක ලේකම්වරයා විසින් මුදල් ත්‍යාග හා  සහතිකපත්  ප්‍රදානය කරන ලද අතර ඔවුන් අතර 2020 ජුනි 09 වන දින කොළඹ ජාතික රෝහලේ සිදුවූ රු. 77,80,226.00 වටිනා මුදල් මංකොල්ලයේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත කාන්තා පොලිස් නිලධාරිනිය විසින් සිදුකරන ලද නිර්භීත මෙහෙවර ගැන ද අගය කළේය.  

එහෙත් පසුගිය දිනක සොයිසාපුර හෝටලයකට වෙඩි තබන විට  අවි අතදරා සිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව ලැජ්ජා විය යුතු බව ද  ආරක්‍ෂක ලේකම් පැවසීය.