චීනය ශ්‍රී ලංකාවේ ඓතිහාසික මිතුරෙකි - ආරක්‍ෂක ලේකම්

ජුලි 31, 2020

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය, දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා වඩාත්ම වැදගත් වන ආරක්‍ෂක යන අංශයන්හි ගොඩනැගී ඇති අන්‍යෝන්‍ය විශ්වාසය මත වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පවතින බවයි.

චීන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඊයේ (ජූලි 30) කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී එහි ප්‍රධාන දේශණය පවත්වමින් ඔහු පැවසුවේ චීනය,  ශ්‍රී ලංකාව සමඟ නිරන්තරයෙන්ම සම්බන්ධතාවයෙන් යුක්තව  කටයුතු  කර ඇති බවය.

 “අවශ්‍යතාවයේදී සිටින මිතුරා සැබෑ මිතුරෙක්” යැයි ද  ආරක්‍ෂක ලේකම් පැවසීය.

ආදි විද්‍යාර්ථීන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් සුභ පැතුම් එක්කල මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ චීනය බුද්ධාගම, වෙළඳාම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ගෝලීය සම්බන්ධතාවය ඇතුළු විවිධ මං ඔස්සේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සගයෙකු වන  බවයි.

“දේශීය හා ගෝලීය වශයෙන් මෑත අතීතයේ දී අපට මුහුණදීමට සිදුවූ   දුෂ්කරතාවලදී  චීනය විසින් ලබාදුන් විශිෂ්ට සහයෝගය ශ්‍රී ලංකාව කිසිදා අමතක කරන්නේ නැහැ.” ඔහු පැවසුවේය.

එවකට පැවති එල්ටීටීඊයට එරෙහි සටනේදී ප්‍රථිඋපාය මාර්ග සැලසුම් කිරීමේදී හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා වෘත්තීය විශේෂඥ දැනුම ලබාදීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා චීනයට සහ චීන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට සිය කෘතඥතාව පළ කළේය.

චීන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සමාරම්භය    අනාගතයේදී දෙරට අතර පවත්නා සහයෝගිතාවය කිසිදා බිඳිය නොහැකි තත්වයකට පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ චීන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය පිහිටුවීම මගින් එහි උපාධිධාරීන් අතර අන්‍යෝන්‍ය සබඳතා වැඩි දියුණු කිරීමට සහ පෝෂණය කිරීමට උපකාරී වන අතර, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් වෘත්තීය හා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ කරනු ඇත.

2001 සිට හමුදා නිලධාරීන් 75 කට වැඩි පිරිසක් චීනයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා ඇත.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියොජිතයෙක් වන හු වෙයි (Hu Wei)  විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සහ ආදි විද්‍යාර්ථීන්ගේ සංවිධායක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. වී. රවිප්‍රිය විසින් පිලිගැනිමේ කථාව සිදුකරන ලදි.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, හිටපු යුද හමුදා සහ නාවික හමුදාපතිවරු, චීන තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වෑන් ඩොන්ග් (Wan Dong), තනාපති කාර්යාලයේ නිලධාරින්, විශ්‍රාමික සහ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.