ගුවන් හමුදා බලඝණ දෙකක් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

මාර්තු 03, 2019

සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය සෙනසුරාදා (මාර්තු 02) දින හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවතී උත්සවයකදී ගුවන් හමුදාවේ අංක 7 බලඝණය හා අංක 8 බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනමන ලදී.

එම ස්ථානයට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් අදාළ බලඝණ දෙක වෙත ජනාධිපති වර්ණ පිරිනමන ලදී. තවද ගුවන් හමුදා භටපිරිස් විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉටුකරන ලද අමිල සේවය ඇගයීම වස් හමුදා රෙජිමේන්තුවක් ලබන ඉහලම ගෞරවය ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබීමයි.

එදිනම ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලබන ගුවන් සැණකෙළිය සහ සංදර්ශනය විවෘත කිරීමද අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් අතින් සිදුවිය. මෙම ගුවන් හමුදා සැණකෙළිය සහ සංදර්ශනය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.

මෙම සංදර්ශනය සහ ප්‍රදර්ශනය මාර්තු 06 වැනිදා දක්වා පැවැත්වේ. එය උදෑසන 10.30 සිට ආරම්භ වන අතර ඇතුළු වීම සඳහා කිසිඳු ගාස්තුවක් ය නොකෙරේ.

මෙහි සමාරම්භක අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදා ජේෂ්ඨ නිළධාරීන් ඇතුළු නිලධාරින් සහ සෙසු නිලන් විශාල පිරිසක් ද,ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් ද සහභාගී වූහ.