කිසිදු බලවේගයකට යටත් නොවී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට ජනාධිපතිතුමන් පොරොන්දු වෙයි

අගෝස්තු 20, 2020

කිසිදු බලවේගයකට යටත් නොවී දේශයේ ස්වෛරිත්වය සහ ජනතාව ආරක්ෂා කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අවධාරණය කළේය.

ගොඩනැගී ඇති දැඩි විශ්වාසය නිසා ජනතාව ඉමහත් උද්යෝගයකින් මෙවර මහ මැතිවරණයේදී රජයට විශාල ජනවරමක් දුන්හ. එය තහවුරු වන පරිදි අඛණ්ඩව ජනතාවට සේවය කිරීම රජයේ අපේක්ෂාවයි. කුමන හේතුවක් නිසා හෝ ජනතාව තැබූ විශ්වාසය බිඳ වැටෙන අයුරින් ක්‍රියා නොකරන බවට ජනාධිපතිතුමා සපථ කරයි.

අභිනව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (20) පස්වරුවේ අරඹමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පැවසීය.

උත්සවය සාම්ප්‍රදායට මුල් තැන දෙමින් චාම් ලෙස සංවිධානය කොට තිබිණ.

පාර්ලිමේන්තු සංකිර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා නව කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබූ අතර ප්‍රධාන දොරටුව අභියසදී පාසල් ශිෂ්‍යාවෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිතුමා පිළිගත්හ.

ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය ඉතාමත් අභියෝගාත්මක වකවානුවකි.  කඩා වැටී තිබූ ආර්ථිකයක් භාරගත් රජයට මුළු ලෝකයම අඩපණ කළ කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙන්නට සිදුවිය. COVID - 19 වසංගතය හමුවේ ලොව බලවත් රටවල් අසරණ වන විට අපට එයට සාර්ථකව මුහුණ දීමට හැකි වූ අතර වසංගතය පැතිරයාම වැළැක්වීමට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග ලොව සියලු රටවල ප්‍රසාදයට ලක් විය.

“විවිධ බාධක හමුවේ මාස 09ක කාල පරාසය තුළ රට පාලනය කළ ආකාරය ගැන ජනතාව පැහැදීමෙන් සිටි බව ලැබූ අතිවිශාල ජනවරමෙන් සනාථ වී ඇත” ජනාධිපතිතුමා සඳහන් කළේය.