අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සඳහා ළඟදීම දීඝවාපිය භාර අරමුදලක් - ආරක්ෂක ලේකම්

අගෝස්තු 29, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක්  පිහිටුවන බවයි.

සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති භූමිය අතීතයේ දී නොසලකා හැර ඇති බව ද ඔහු පැවසීය.

“මෙය දේශීය බැතිමතුන්ට පමණක් නොව ලොව පුරා සිටින බෞද්ධයින්ටද හිමිකමක් ඇති පූජනීය ස්ථානයකි”. ඔහු පැවසීිය.

රජයේ අරමුදල් ප්‍රතිසංස්කරණය සඳහා යොදා නොගන්නා අතර ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙන බෞද්ධයින් විසින් කරනු ලබන දායකත්වයෙන් අරමුදල් රැස්කර ගන්නා බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වන මේජර් ජෙනරාල් ගුණරත්න අද (අගෝස්තු 29) අම්පාර දීඝවාපිය රජ මහා විහාරය වෙත ගොස් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.

අතීතයේ දී දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූලික පියවර කිහිපයක් ගෙන ඇත. යම් යම් හේතූන් මත ඒවා අඩපණ වී ඇති නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි රජය විසින් මෙම පුරාණ විහාර භූමිය අලුත්වැඩියා කිරීම වසර තුනකට පෙර සම්පූර්ණ කරන බව ඔහු පැවසීය.

“බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මෙම ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යාඥයින්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් අනුව වසර දෙක තුනක් ඇතුළත අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”. ඔහු පැවසුවේය.

ආරක්ෂක ලේකම්වරයාට අනුව සන්නද්ධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රමය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරුවන්ගේ විශේෂඥ දැනුම ලබා දෙනු ඇත.

පුරාවිද්‍යාඥයින්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් තාක්ෂණික දායකත්වය සහ දැනුම ලබා දෙනු ඇත. එබැවින් නැගෙනහිර පළාතේ ප්‍රමුඛතම පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

අනුරාධපුරයේ රුවන්වැලි ස්ථූපයට සමාන අයුරින් දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කරන බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

“අරමුදල පිහිටුවීමෙන් පසු හැකි සෑම ආකාරයකින්ම මෙම මහා පුණ්‍ය කර්මයට  සහයෝගය දෙන ලෙස මම අපේ රටේ ජනතාවට ආරාධනා කරනවා,” ඔහු පැවසීය.

දීඝවාපිය රජ මහා විහාරාධිපති  පූජ්‍ය. මහාවැව  සෝභිත  හිමි , අරන්තලා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය කිරිඳිවැල සෝමරත්න  හිමි සහ  බෞද්ධ රූපවාහිනී නාලිකා අධ්‍යක්ෂක හා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෝරලන්දේ  වජිරඥාණ හිමි  සහ මැටිකොටුව පුරාණ විහාරයේ රාජකීය පණ්ඩිත යටිතැන විමල බුද්ධ හිමියන් ඇතුළු මහා සංඝරත්නය දීඝවාපිය ස්ථූපයේ හා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය තිලක් රාජපක්ෂ , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත්, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපති චිත්‍රානි ගුණරත්න ඇතුළු යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන්,  නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ. සී. ගමගේ, 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී. ඩී . වීරකෝන්, නැගෙනහිර නාවික විධානය භාර අඥාපති  රියර් අද්මිරාල් යූ. එස්.ආර්. පෙරේරා, ගිනිකොණ නාවික විධානය භාර අඥාපති   රියර් අද්මිරාල් සී විජේසුරිය, පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සේනරත් දිසානායක යන නියෝජිතයින් සමඟ සාකච්ඡාව පැවැත්වීය.