සංවිධානාත්මක අපරාධ, පාතාල හා මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට රජය කටයුතු කරනු ඇත - ආරක්‍ෂක ලේකම්

සැප්තැම්බර් 01, 2020

ත්‍රස්තවාදය තුරන් කර රටේ සාමය හා සමෘද්ධිය ඇති කල ලෙසම ශක්තිමත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වය යටතේ රජය විසින් සමාජයෙන් මතුවන තර්ජන මැඩලන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

“අපගේ තරුණ පරම්පරාවේ අනාගතය අවදානමකට ලක්වන ආකාරයේ සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියා සහ මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ තර්ජනවලට ඉඩක් නැහැ” ඔහු පැවසුවේය.

කොළඹ රෝයල් ඉන්ස්ට්යුට් හි (Royal Institute) සිසුන් අමතමින් ඔහු දශක තුනක කාලයක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදය රටින් තුරන් කිරීමේ සටනේදී හමුදා භටයින්ගේ වටිනා ජීවිත දහස් ගණනක් අහිමි වූ බව සිහිපත් කර්මින් ඔහු පැවසුවේ “ඔවුන් ඔබේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ අද දවස කැප කලා” යනුවෙනි.

කොළඹ රෝයල් ඉන්ස්ට්යුට් ස්වර්ණ ජයන්ති සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (සැප්තැම්බර් 1) සහභාගී වූ ආරක්‍ෂක ලේකම් සිසුන්ගෙන් ඉල්ලා සිටියේ ජාවාරම්කරුවන් ප්‍රධාන වශයෙන් කුඩා ළමයින් ඉලක්ක කර ගෙන ඇති හෙයින්, මතුවන සමාජ තර්ජන වලින් ඈත්ව සිටින ලෙසයි.

මෙම කීර්තිමත් අධ්‍යාපන ආයතනයේ වසර දෙකක් සේවය කර ඇති මේජර් ජෙනරාල් ගුණරත්න පරිපාලන අධ්‍යක්ෂකවරයෙකු එහි කළමනාකාරිත්වයේ හිටපු සාමාජිකයෙකු ද වේ.

කාර්ය මණ්ඩලය සහ සිසුන් අතර අවංකභාවය, විනය සහ සහෝදරත්වය වැනි ප්‍රධාන හමුදාමය ලක්‍ෂණ ඇති කිරීම පිළිබඳ ආදරණීය මතකයන් සිහිපත් කරමින් ඔහු පැවසුවේ සිසුන් හා කාර්ය මණ්ඩලය අතර විනය හා කණ්ඩායම් හැඟීම ඇති කිරිම තුලින් මෙම ආයතනය වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට ආයතන කළමනාකාරිත්වයට හැකි වූ බවයි.

“කුඩා කල සිටම ළමුන් අතර ආත්ම විශ්වාසය, විනය සහ කණ්ඩායම් හැඟීම ගොඩනැගීම සඳහා ක්‍රීඩාව පිටුවහලක් විය හැකි අතර, තම ධූර කාලය තුළ පාසල වෙත බොහෝ ශූරතා දිනා ගැනීමට අපට හැකි විය.” යැයි පැවසූ ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ තමා පාසල් පරිපාලනයේ සේවය කරන කාලය තුල පාසලේ පාලනය හානිකර අංශයන් වෙත නතු වීමට තමා කිසි විටෙකත් ඉඩ නොදුන් බවයි.

රෝයල් ඉන්ස්ට්යුට් ජාලයේ නිර්මාතෘ සහ සභාපති ජී.ටී. බණ්ඩාර, අධ්‍යයන අධ්‍යක්‍ෂ නිරෝධා බණ්ඩාර, අධ්‍යක්‍ෂ නිවන්ත බණ්ඩාර, ආයතන ප්‍රධානී මහාචාර්ය සරත් අමුණුගම, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න, ආරාධිත විදුහල්පතිවරුන්, RI ගුරුවරුන්, සිසුන්, ආදී ශිෂ්‍යයන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Sinhala.