පොලීසිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ

සැප්තැම්බර් 02, 2020
  • ඉලංගකෝන් වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසු ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙන බව පවසයි
  • පොලිස් නිලධාරීන්ගේ සේවා පරිසරය සහ සුභසාධනය වැඩිදියුණු කරන බවට ප්‍රතිඥා දෙයි
  • දැඩි අභ්‍යන්තර අධීක්ෂණ පද්ධතියක් පවත්වා ගෙන යන අතරම පොලිස් සේවය තුල විනය ඉතා වැදගත් වේ

හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් සේවයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.

“හිටපු පොලිස්පති ඉලංගකෝන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් නිර්දේශ සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කරනවා,”  වාරිමාර්ග සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.

ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා සහයෝගය දක්වමින් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඔහු, පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා නිතිපතා ඔවුන් හමුවීමට සැලසුම් කර ඇති බව පැවසීය.

අමාත්‍ය රාජපක්ෂ අද දින (සැප්තැම්බර් 2) කොළඹ පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී පවසා සිටියේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් හොඳ වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බවයි.

“වඩා හොඳ සහ ගුණාත්මක පොලිස් සේවාවක් මහජනයාට ලබාදීම සඳහා වඩා හොඳ සේවා පරිසරයක් සහ රැකියා තෘප්තියක් අත්‍යවශ්‍ය වනවා,” ඔහු පැවසීය.

පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ වර්තමාන පෙනුම පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය රාජපක්ෂ පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීමේදී පොලිස් සේවයේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා රටේ පොලිස් ස්ථානවල බාහිර පෙනුම වැඩිදියුණු කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි.

ඔහු, නිසි පරිදි නඩත්තු කිරීම අවශ්‍ය වන පොලිස් ස්ථානවලට අයත් ගොඩනැගිලිවල තත්ත්වය ඇතුළු අභ්‍යන්තර ගැටලු විසඳීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යාමේ වැදගත්කම එම අවස්ථාව සදහා සහභාගීවී සිටි පොලිස් නිලධාරීන් අමතමින් පැවසීය.

“මම පොලිස් සේවයේ යෙදී සිටියදී අපගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සතුව දැඩි අධීක්ෂණ පද්ධතියක් තිබූ අතර එහිදී ඉතා සුළු කාරණා පිළිබඳව පවා සොයා බලනවා. පොලිස් සේවයේ හොඳ නමක් ලබා ගැනීම සඳහා අප එවැනි පද්ධතීන් නැවත ගෙන ආ යුතුය. එසේ නොවුවහොත් මෙය රජයේ ප්‍රතිරූපයට අහිතකර ලෙස බලපානු ඇත,” සේවයේ අපේක්ෂාවන් කරා ළඟාවීම සඳහා පොලිස් නිලධාරීන් අතර විනය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමින් අමාත්‍ය රාජපක්ෂ මේ බව පැවසීය.

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් අවසන් කරනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් ජනතාව ආණ්ඩුව තෝරා පත්කර ගත් බවත් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා එවැනි අපරාධ වලින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා පොලීසියට වඩා වැදගත් කාර්යභාරයක් ඇති බවත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේය.

“සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය සහ පාතාලයට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් දක්වන  ලද දැවැන්ත දායකත්වය නිසා පොලීසිය දැන් ජනතාවගේ ගෞරවය දිනා ඇත. මෙම අපරාධවලට එරෙහිව දිගින් දිගටම සටන් කරන අතරම, දූෂණයට සම්බන්ධ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු නිවැරදි කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට වගකීමක් ඇත. මෙම සේවාව වඩාත් හිතකාමී පොලිස් සේවාවක් බවට පත් කිරීම සඳහා ඔවුන්ව නිවැරදි මාර්ගයට ගෙන යා යුතුය,” ඔහු පැවසීය.