රජය MT New Diamond හි ගින්න නිවා දැමීමට කලාපීය සහාය ලබා ගැනීමට කටයුතු කරයි

සැප්තැම්බර් 04, 2020
  • තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් එම තත්වය කළමනාකරණය කිරීමට සූදානම් බව රජය පවසයි.

MT New Diamond හි ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතරම තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් එම තත්වය කළමනාකරණය කිරීමට සූදානම් වෙමින් සිටින අතර අවශ්‍ය නම් ඒ සදහා කලාපීය රටවල සහාය ලබා ගැනීමටද රජය කටයුතු කරන බව පවසයි.

MT New Diamond තෙල් නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 22 ක් දුරින් සහ  කිලෝමීටර 3.1 ක ගැඹුරු මුහුදේ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් වයි. එම්.ජයරත්න පවසයි.

“දැනට පවතින තත්වය පිළිබඳව අප සුපරීක්ෂාකාරී වන අතර අපගේ පළමු අවශ්‍යතාවය වන්නේ ගින්න පාලනය කිරීමයි. ආරක්ෂිත ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් පසුව නෞකාව ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නැව හිමිකරුට භාර දෙනු ලබනවා”, අද දින (සැප්තැම්බර් 04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.

පැනමා ධජය යටතේ  සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරකින් ගමන් කරමින් සිටි MT New Diamond තෙල් නෞකාව ඊයේ දින (සැප්තැම්බර් 03) ගිනි ගැනීමකට ලක් විය.

නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන නැවේ පරිපාලන මැදිරිය දක්වා පැතිරී ඇති අතර නැවේ බොරතෙල් ගබඩා කර ඇති කොටස ආරක්ෂිත බව රියර් අද්මිරාල් ජයරත්න පවසයි.

“බොරතෙල් ප්‍රවාහනය කරන නැව් වල අපට පෙනෙන්න තියෙන හල් එකට අමතරව ඇතුලෙන් තවත් හල් එකක් තියෙනවා ඒ අතර ජලය පුරවා තිබෙනවා ඒ අනුව බොරතෙල් වලට වන හානිය අවම වනවා”, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ආධාරයෙන් දිගින් දිගටම ජලය ඉසීම මගින් මෙම ප්‍රදේශය සිසිල්ව තබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව උත්සාහ කරන බව ඔහු පැවසීය.

නාවික සැතපුම් 22 ක් ඈතින් පිහිටි නෞකාවේ මීටර් 20 ක ප්‍රමාණයක් මුහුද මතුපිට සිට ජලයෙන් යටට තිබෙන බැවින් නෞකාව පවත්නා තත්වයට අනුව ශ්‍රී ලංකා මුහුදේ තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැති බව ඔහු පැවසීය.

එම ප්‍රදේශයේ පවතින දිය වැල් වල ස්වභාවය නිසා එය වෙරළට සමාන්තරව සෙමින් දකුණු දෙසට ගමන් කිරීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තුනක්, එක් ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවක් සහ ඉන්දියානු නාවික හමුදාවේ නෞකාවක සහාය ඇතිව අපි ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් පවතින බවද ඔහු සදහන් කළේය.

රියර් අද්මිරාල් ජයරත්න පවසන පරිදි මෙම මෙහෙයුම සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක ගිනි නිවීමේ නෞකා සහ විශේෂ පුහුණුව ලත් පිරිස් ද යොදවා ඇති අතර හෙලිකොප්ටර් සහිත තවත් නැව් දෙකක් අද පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ විශාල නැව් හැසිරවිය හැකි ටග් යාත්‍රා තුනක් යොදවා ඇති අතර ටැංකියේ ගින්න නිවා දැමීමට තවත් ටග් යාත්‍රාවක්  පැමිණෙමින් සිටී.

“ගින්න පාලනය කර නැව ආරක්ෂිතව ඉවත් කිරීමට අපි අදහස් කරනවා. අපි තවත් ඉන්දීය වෙරළාරක්‍ෂක විශේෂඥයෙකුගේ සහාය බලාපොරොත්තු වනවා” ඔහු පැවසීය.

ජපන් සහතිකයක් සහිත අවුරුදු 20 ක් පැරණි නෞකාවේ පුද්ගලයින් 23 දෙනෙකු සිටි බවත්, කාර්ය මණ්ඩලයේ 19 දෙනෙකු ආරක්ෂිතව සිටින බවත් ඔහු තහවුරු කළේය.

“ඔවුන් නැව ගැන හොඳින් දන්නා බැවින් ගින්න මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ දැනුම ලබා ගන්නවා. එක් අයෙකු දරුණු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා. ඔහු මේ වන විට ආරක්ෂිත තත්ත්වයේ පසුවන අතර, අනතුරින් එන්ජින් කාමරයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ දිවි ගලවා ගලවා ගනු ඇති බව අපේක්ෂා කළ නොහැක,” මේ පිලිබදව සියලුම කලාපීය හා අනෙකුත් රටවලට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දැනුම් දී ඇති බවත් ඔවුන් මේ වන විටත් සිය සහය ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති බවද ඔහු පැවසීය.

මේ අතර, නැවේ සිටි අය වෙනත් නැවකට ගෙන ගොස් ඇති අතර තෙල් නෞකාව දැන් ශ්‍රී ලංකාවේ දකුණු දෙසට පාවෙමින් තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසා සිටියේ නෞකාවේ අවශ්‍යතා සදහා වන තෙල්වලට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් රැගෙන යන බවයි.

ඊයේ උදෑසන සිට ඇති වූ මෙම හදිසි අවස්ථා පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික  හමුදාව කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාෂල් රවී ජයසිංහ පැවසුවේ මේ වන විට ගුවන් හමුදාව විසින් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ජලය ලීටර් 100,000 කට වඩා භාවිතා කර ඇති අතර ගුවන් හමුදාව විසින් විසින් නිරීක්‍ෂණ ගුවන් යානා, MI 17 සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවයි.

මෙම තත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත් උත්සාහයට ස්තූතිවන්ත වෙමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපතිනිය දර්ශනී ලහන්දපුර පැවසුවේ වෙරළබඩ දූෂණය අවම කිරීම සහ පාලනය කිරීම MEPA හි වගකීමක් බවත්, මෙම හදිසි තත්වයට මුහුණ දීම සඳහා පියවර ගැනීමට හදිසි කළමනාකරණ කමිටු රැස්වීමක්ද කැඳවූ බව පැවසීය.

මුහුදේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් එය ලෝකයේ විශාලතම ව්‍යසනයකි. එබැවින් මෙතරම් විශාල ව්‍යසනයකට තනිව මුහුණ දීමට MEPA සතුව ප්‍රමාණවත් උපකරණ නොමැති බැවින් MEPA විසින් කලාපීය රටවල සහාය ඉල්ලා ඇති අතර ඔවුන් සතුව ඇති සියලුම සම්පත් දැනටමත් කිරින්ද, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ ස්ථාපිත කර ඇත.

තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් අපගේ පරිසර කලාපයට හා ධීවර ප්‍රජාවට සිදු වන අලාභය වෙනුවෙන්  නෞකාවේ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ෙගන වන්දි ලබා ගැනීමටත් MEPA කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් එය වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වෙරළාරක්ෂක බලකාය, පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව වැනි වෙනත් සංවිධානවල සහාය ඇතිව අපි හදිසි සැලැස්මක් සකස් කරමින් සිටින බවද ඇය පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, නියෝජ්‍ය පොලිස්පති එච්.එච්. චුලසිරි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව, වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න සහ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා යන අය සහභාගී වූහ.