‘පාතාලයෝ’ සහ ‘ගෝඨාභය’ ඉංග්‍රීසි පරිවර්තනය ජනපතිතුමන් වෙත පිරිනැමේ

සැප්තැම්බර් 07, 2020

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති  ‘පාතාලයෝ' නම් සිංහල නවකතාව සහ ‘ගෝඨාභය’ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීමේ උත්සවය සිය 59 වන උපන් දිනයට සමගාමීව ඊයේ (සැප්තැම්බර් 6) සවස කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.

පොත් එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනාධිපති ආර්යාව අයෝමා රාජපක්‍ෂ සමඟ සහභාගී විය.

පසුගිය මාස කිහිපය තුළ ඍජුව පාතාලය මැඩපැවැත්වීමට සම්බන්ධ වූ ආරක්‍ෂක ලේකම් විසින් මුහුණ දුන් සැබෑ පාතාල සිද්ධීන් අලලා ‘පාතාලයෝ' නවකතාව ලියැවී ඇති අතර පසුගිය වසරේ සිංහල බසින් ප්‍රකාශයට පත්කල ‘ගෝඨාභය’ කෘතියේ ඉංග්‍රීසි අනුවාදය ඊයේ දින එළිදැක්විණි.  

වඩාත් ප්‍රසිද්ධ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ඇතුළු පොත් හතක් ඔහු විසින් රචනා කර ඇති අතර පසුව එහි පරිවර්තනය ‘Road to Nandikadal’ ලෙස නිකුත් කර ඇත. ‘කඩොල් ඇත්තු’, ‘උත්තර දේවි’ සහ ‘ගෝඨාභය’ ඔහුගේ අනෙකුත් සිංහල ග්‍රන්ථයන්ය.

මෙම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම් විසින් පොත්වල මුල් පිටපත් ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර මහනායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමන්, ලලී කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න අය වෙත පිරිනැමීය.

උත්සවයේ ප්‍රධාන දේශණය පවත්වමින් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ යනු කවරෙක්ද යන්න ඉතා සරලව හා නිවැරදිව කමල් විසින් ඔහුගේ පරිච්ඡේද 21 කින් යුක්තවූ මෙම කෘතියේ ඉතා සංවේදී වූ සිදුවීම්ද ඇතුලත් කර ලියා දක්වා ඇති බවයි.

ගෝඨාභය යනු ආදර්ශමත් නායකයෙකු, දේශපාලනඥයෙකු ඊටත් වඩා මනා පෞරුෂයකින් හෙබි මම උසස් ලෙස ගරු කරන විශිෂ්ඨ මිනිසෙකි.

නායකත්වය පිළිබඳ වූ ප්‍රචලිත උපුටා ගැනීම් කිහිපයක් ගෙන හරිමින් වීරතුංග පවසා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම අන් කවරකටත් වඩා වෙනස් වුවක් බවයි.

“නුතන කාලයට නොගැලපෙන බොහෝ ස්ථාපිත පිළිවෙත් ඔහු අභියෝගයට ලක් කලා. සාමුහික උත්සාහයෙන්, ස්ථිර විශ්වාසයෙන්, ශක්තිමත් සම්බන්ධතාවන්ගෙන්, ගැඹුරු නිපුණතාවයෙන් සහ පුද්ගල වගකීමෙන් තොර වූ සිහින යථාර්ථයක් බවට පත් නොවන බව” ඔහු පැවසීය.

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නායකත්වය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ, දායක විය හැකි සෑම කෙනෙකුම ඒ සඳහා යොදවා ගනිමින් සහ සැමවිටම ඔවුන් පිටුපසින් ජනාධිපති රාජපක්‍ෂ සිටි බවත්ය.

“මම දැක තිබුණා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේදී ඔහු හමුදාවට ධෛර්යය දුන් ආකාරය”, යැයි ඔහු පැවසුවේය. අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම ජීවිතය සුරක්‍ෂිත, සාමකාමී සහ සමෘද්ධිමත් කරන නායකයා අපි සියල්ලෝම එකතු වී සොයාගෙන තියෙනවා” වීරතුංග පැවසීය.

ඔහු විසින් මීට පෙර රචනා කරන ලද පොත් ගැන සඳහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ,   සුප්‍රසිද්ධ ග්‍රන්ථයක් වන ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය  පළ කරන ලද අවස්ථාවේ එය මිළදී ගැනීම සඳහා ජනතාව පෙළ ගැසී සිටි බවයි .

අළුත්ම ග්‍රන්ථය වන  ‘පාතාලයෝ’ හඳුන්වා දෙමින් ඔහු සඳහන් කළේ ඔහු විසින් රචනා කළ අනෙකුත් පොත් මෙන් නොව, ‘පාතාලයෝ’ ග්‍රන්ථයෙහි පාතාලයට පමණක්  විශේෂිත වූ වචන එකතුවකින් යුක්තව රචනා කර ඇති බවයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා  රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අද්මිරාල් ඔෆ් දි ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් දී එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපති චිත්‍රානි ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු හමුදාපති වරුන් සහ ආරක්‍ෂක අංශවල ජ්‍යෙෂ්ඨ ‍නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.