සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය මහජන සහාය අපේක්ෂා කරයි

සැප්තැම්බර් 12, 2020
  • වැටලීම් තීව්‍ර වීමත්   සමඟ සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන්  බන්ධනාගාරවල වැඩි ඉඩකඩක් අවශ්‍ය වේ.
  •  තොරතුරු සපයන ජනතාව සඳහා ලබදෙන ප්‍රතිලාභ ක්‍රමය ශක්තිමත් කිරීමේ සැලසුම්.
  •  කුඩා   හා   මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සියලු අපරාධකරුවන්ට දඬුවම්.
  • මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ    අවස්ථාවන් වැඩි කිරීම  සඳහා සැලසුම්.
  • බෝගම්බර බන්ධනාගාරය අලුත්වැඩියා කෙරේ

රජයේ දැක්ම තුළ ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම තුලින් සුරක්‍ෂිත රටක් ගොඩ නැඟීම  සඳහා සහාය වන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන්  ඉල්ලා සිටී.

කිසිදු ආකාරයේ අපරාධයක්  සඳහා මෙම රජයෙන් ඉඩක්  නොමැති   බවත්,  මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සිට  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දක්වා  දඬුවම් ලබා දෙන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නැවත සමාජගත  කර ගැනීම සඳහා පුනරුත්ථාපනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු පැවසීය.
 
බන්ධනාගාරවල සිරකරුවන් වැඩිවිම පිළිබඳ ගැටළුව විසඳීම සඳහා රටේ බන්ධනාගාරවල ඉඩ  පුළුල් කිරීමට රජය අදහස් කරන බව අද දින මහනුවර බොගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ආරක්ෂක ලේකම් මාධ්‍ය වෙත පැවසීය.
 .
“විශේෂ කාර්යය බලකාය සමඟ පොලීසිය විසින් මත්ද්‍රව්‍ය වැටලීම තීව්‍ර කිරීමත් සමඟ බන්ධනාගාරවල අධික ලෙස සිරකරුවන් පැමිණීම  දැන් බරපතල කාරණයක් වී තිබෙනවා . බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඔවුන්ට අවශ්‍ය පරිදි පුළුල් කළ යුතු වෙනවා,” ඔහු පැවසීය.
 
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සාමාන්‍ය පුරවැසියන් ලෙස නැවත සමාජගත  කිරීම සඳහා මනාව  සැලසුම් කරන ලද පුනරුත්ථාපන වැඩසටහනක් ස්ථාපිත කිරීම රජයේ අභිප්‍රාය බව ඔහු පැවසීය.
 
“සුරක්ෂිත ජාතියක් ඇති කිරීම සඳහා අප විසින්  දරන උත්සාහයන් සඳහා , අනාගත පරම්පරාව අපරාධවලින්, විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට රජයට ජනතාවගේ සහාය අවශ්‍ය වනවා ,” යැයි ඔහු අවධාරණය කළේය.
 
සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ වැදගත් අංගයක් ලෙස, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා තොරතුරු සපයන්නන් සඳහා මෑතකදී හඳුන්වා දුන් ත්‍යාග ලබාදීමේ  ක්‍රමය ශක්තිමත් කිරීම රජයේ අභිප්‍රාය බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් අවධාරණය කළේය.
 
 “සිරකරුවන් ද  මනුෂ්‍යයන් මෙන්ම  ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවත්,  බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රමාණවත් පහසුකම් ඇතත් නැවත ආරම්භ කිරීමට අලුත්වැඩියා කිරීමක් අවශ්‍ය වෙනවා” , යැයි මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේය.
 
‘බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ’ සමහර අපරාධකරුවන් විසින් ආරම්භ කරන ලද උපවාසය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, බොහෝමයක් අපරාධකරුවන්ගේ ඉල්ලීම් අසාධාරණ බවත්, බන්ධනාගාර බලධාරීන් විසින් සාධාරණ අභියාචනා කිහිපයක් පිලිබදව පමණක් සොයා බලනු ඇති බවත්ය.
 
මරණාසන්න රෝගයකින් පෙළුණු එල්ටීටීඊයේ තීලීපන් පමණක් උපවාසයක  දී මියගොස් ඇති නමුත් උපවාස ආරම්භ කල අනෙකුත් උපවාසකරුවන්   තුන්වන හෝ සිව්වන දිනෙන් පසුව එම උත්සාහයන් අතහැර දමා ඇත.