යුධ හමුදාව උපාධිධාරීන් 50,000 ක් පුහුණු කිරීම ආරම්භ කරයි

සැප්තැම්බර් 14, 2020

රාජ්‍ය අංශයට මෑතකදී බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් ශ්‍රී ලංකා යුධ හමුදාව  විසින් සිය පුහුණු මධ්‍යස්ථානවල දී අද (14) දින පුහුණු කිරීම ආරම්භ කර තිබේ.
 
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රකාශ කර  සිටියේ ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු රට පුරා යුද හමුදා පුහුණු මධ්‍යස්ථාන 51 ක දී පුහුණුව ලබා දෙන බවයි.
 
සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන මගින්  සම්බන්ධීකරණය  කරනු ලබන මෙම වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කෙරේ.
 
මෙමගින් රාජ්‍ය සේවයේ  යාන්ත්‍රණය  පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන අතර නායකත්වය, සමූහ ක්‍රියාකාරකම්, කළමනාකරණය, ව්‍යාපෘති කටයුතු, නවෝත්පාදන, වැඩ කිරීමේ නම්‍යශීලිත්වය, ක්ෂේත්‍ර අධ්‍යයනයන් වැනි අංශ ආවරණය කිරීමට ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වේ.