උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහනේ ප්‍රගතිය යුද හමුදාපතිගේ නිරීක්ෂණයට

සැප්තැම්බර් 16, 2020

යුද හමුදාපති  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (15) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ  පිහිටි  පුහුණු මධ්‍යස්ථානයේ  සංචාරයක නිරත වෙමින්  දිවයින පුරා පිහිටි හමුදා මධ්‍යස්ථාන 51 ක සඳුදා (14) දින ආරම්භ වූ මාසයක කාලයක් පුරා පැවැත්වෙන  නේවාසික උපාධිධාරී  පුහුණු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කළේය.

යුද හමුදාව පවසන පරිදි,ලුතිනන් ජෙනරාල් සිල්වා උපාධිධාරීන් සඳහා වන පුහුණු සැසි පරීක්ෂා කළ අතර එවා  ජනාධිපතිවරයාගේ උපදෙස් වලට අනුකූලව සිදුවන  බවට  සහතික විය . සංචාරය අතරතුර, පුහුණුව ලබන උපාධිධාරීන් හමු වූ ඔහු ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

පුහුණු වැඩසටහන අදියර පහක් යටතේ ක්‍රියාත්මක වන අතර එක් වරකට උපාධිධාරීන් 10,000 ක් බැගින් මාස පහක් ඇතුලත උපාධිධාරීන් 50000ක් සඳහා පුහුණුව අවසන් කිරිමට  බලාපොරොත්තු වේ.

බඳවා ගත් උපාධිධාරීන්ගේ  දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම තුලින් පුහුණු ජවසම්පන්න ශ්‍රම බලකායක් ලෙස ජාතිය ගොඩනැගීම සඳහා ඔවුන්ගේ ඵලදායී දායකත්වය ලබා ගැනීම  මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන අතර සියලු ආරක්ෂක සේනා  මූලස්ථානවල   සම්බන්ධීකරණය  යටතේ සිදු කරනු ලැබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශ සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධව  කටයුතු කරයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, බටහිර ආරක්ෂක සේනා   ආඥාපති මේජර් ජෙනරාල් චූල අබේනායක සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.