ඉන්දීය ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි.

ඔක්තෝම්බර් 09, 2020

ශ්‍රී ලංකාවේ ඉන්දීය ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ගරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (ඔක්තෝබර් 09) අමාත්‍යාංශයේදී හමුවිය.

දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ඉස්මතු කරමින් කපිතාන් විකාස් මෑතකදී MT New Diamond හට ගත් ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට ‘සාගර  ආරක්ෂා මෙහෙයුම’ යටතේ  සිදු කළ කාර්යයන් අගය කළේය.

මෙම මෙහෙයුම සාර්ථකව සිදු කිරීමට සහය ලබාදීම පිළිබඳව ඉන්දීය රජයට ස්තූතිවන්ත වන අතරම සමුද්‍රීය සහයෝගීතාවයේ වැදගත්කම සහ දෙරට අතර අන්තර් ක්‍රියාකාරිත්වයේ ඵලදායීතාවය පිළිබඳව සිය අවධානය යොමු කළ බව ආරක්ෂක ලේකම් පැවසීය.

සමුද්‍රීය  සම්පත්, ජීවනෝපාය, සංචාරක හා ධීවර කටයුතු ආරක්ෂා කිරීම සඳහා මෙම නාවික මෙහෙයුමට ලබා දී ඇති සහයෝගී ක්‍රියාමාර්ග ගැන මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ප්‍රශංසා කළේය.

විශේෂ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ ජීවනෝපාය නංවාලීම සඳහා ඉන්දියාවේ ජයිපූර් කෘත්‍රීම පාද නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව ද කපිතාන් විකාස් එම අවස්ථාවේදී  සාකච්ඡා කළේය.