චීන සංචාරය සාර්ථක ව නිම කළ ජනපති යළි දිවයිනට

මැයි 17, 2019

ආරක්ෂක අංශවල පහසුකම් වැඩිදියුණු කිරීමට චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 410ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් රටට ප්‍රතිලාභ රැසක් උදාකර ගැනීම වෙනුවෙන් චීනයේ කෙටි නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද උදෑසන (16) යළි දිවයිනට පැමිණියේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා අතර පැවති නිල සාකච්ඡා ඉතා සාර්ථක වූ අතර චීන ජනාධිපතිතුමා දැඩි ව අවධාරණය කළේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු සහාය චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතුවලට රුපියල් කෝට් 260ක මුල්‍ය පරිත්‍යාගයක් ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව චීන රජයෙන් පිරිනැමුණු අතර පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජිප් රථ 100ක් වහාම ශ්‍රී ලංකාවට එවීමට ද එකඟතාවය පළ කෙරිණි.

ත්‍රස්තවාදී අරමුණු සඳහා අන්තර්ජාලය යොදාගැනීම පාලනය කිරීමට චීන ආධාර ලබාදීම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඬලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ගිවිසුම්වලට එළැඹීම සහ ශ්‍රී ලංකාවේ කාලීන අභියෝගයකට විසඳුම් ලබාදෙමින් වර්ගවාදී සහ වෛරී ප්‍රකාශන මෙන්ම ව්‍යාජ තොරතුරු පැතිරවීම පිළිබඳ ක්‍රියාකාරකම් සහ අන්තර්ජාල අපරාධ පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය මෘදුකාංග සහිත තාක්ෂණය ද ශ්‍රී ලංකාවට ලබාදීමට චීනයේ එකඟතාවය පළ කෙරුණේ ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ තවත් සුවිශේෂ ප්‍රතිලාභයක් වශයෙනි.

ජනාධිපතිතුමා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා අතර හමුවක් ද බීජිං නුවර දී පැවැත්වුණු අතර චීන අග්‍රාමාත්‍යවරයා ද එහි දී අවධාරණය කළේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී චීනය ශ්‍රී ලංකාව සමඟ දැඩිව අත්වැල් බැඳගෙන සිටින බවයි.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මඟින් ක්‍රියාත්මක කරයි. රාජ්‍ය නායකයා ලෙස, රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙම සියලු හමුවීම්වල දී කරුණු පැහැදිලි කරනු ලැබීය.

මේ අතර බීජිං නුවර දී ආරම්භ කෙරුණු ,ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ද ඇමතූ ජනාධිපතිතුමා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේ ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බවයි. ත්‍රස්ත අභියෝගය හමුවේ නැඟී සිටිමින් ඊට එරෙහිව පුළුල් වැඩපිළිවෙළක් දියත් කර ඇති රාජ්‍ය නායකයෙකු ලෙස මෙහි දී ජනාධිපතිතුමාගේ දේශනය සමුළුවට එක්ව සිටි රටවල් 47ක රාජ්‍ය නායකයන් ඇතුළු දෙදහසක් පමණ වන නියෝජිතයන්ගේ විශේෂ අවධානයකට ලක්වීම විශේෂත්වයකි.

ගරු ජනාධිපතිතුමා සමඟ චීන සංචාරයට එක්වූ අමාත්‍යවරු සහ ආණ්ඩුකාරවරු එම සංචාරය පිළිබඳ දැක්වූ අදහස්

අමාත්‍ය දයා ගමගේ මහතා

චීන ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ චීන සංචාරය අපේ රටට හිමිවුණු වැදගත් අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. එහි දී චීනයත් ශ්‍රී ලංකාවත් අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබුණා.

චීනය මේ අවස්ථාවේ දී දශලක්ෂ දෙදහස් පන්සියයකට වැඩි ආධාරයක් ලබා දුන්නා. ඒකට අපේ රටට අවශ්‍ය වෙන අධි තාක්ෂණය ඒ කියන්නේ අපේ ආරක්ෂක විධි විධාන වැඩි කරන්න චීන රජය අපිට ඒ ආධාරය ලබා දුන්නා.

ඒ වගේම අපේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් අනුව පොලීසියට ජීප් රථ 100ක් ලබා දෙන්නත් ඔවුන් එකඟ වුණා. ඊට අමතරව අපේ රටට දැනට සංචාරකයින්ගේ ඒම සියයට 70කින් විතර අඩුවෙලා තියෙනවා. මේ ඇතිවුණ ප්‍රශ්න එක්ක ඒ තත්ත්වය පුළුවන්තරම් ඉක්මනට යථා තත්ත්වයට පත් කරන්න විශේෂයෙන් අපි ආරාධනා කළා චීනයේ නියෝජ්‍ය සංචාරක ඇමතිතුමාට ලංකාවට එන්න කියලා. එතුමා ඒ ආරාධනය පිළිගත්තා. මම විශ්වාස කරනවා චීන සංචාරකයෝ ඉතාමත් ඉක්මනින් වෙන දා ආවා වගේම එන්නට පටන් ගනී කියලා. ඒ වගේම තවත් ලංකාවට අවශ්‍ය කරන, ඉදිරියේ දී අපේ රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කර ගන්නට හැකි හැම උදව්වක් ම චීන රජය අපිට ලබා දෙන්නට එකඟ වුණා. මම විශ්වාස කරනවා මේ සංචාරය ඉතාමත් සාර්ථක සංචාරයක් කියලා.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා

අතිගරු ජනාධිපතිතුමා සමඟ චීන සංචාරයකට එක්වීමෙන් පසුව අප නැවත දිවයිනට පැමිණියා. ඒ සංචාරය ඉතාමත් වැදගත් සාර්ථක සංචාරයක්. මන්දයත් ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියටත් අපි ජන සමූහයක් හැටියටත්, මුහුණ දෙන ප්‍රබල ම අභියෝගය වී තිබෙන ත්‍රස්තවාදය ජයගන්නට අවශ්‍ය කරන බුද්ධිමය දායකත්වයත්, ද්‍රව්‍යමය දායකත්වයත්, මූල්‍යමය දායකත්වයත් ලබාදෙන්නට චීන රජය මේ සංචාරයේ දී ජනාධිපතිතුමාට පොරොන්දු වුණා. මූල්‍යමය වශයෙන් රුපියල් බිලියන 5කටත් වඩා අධික ප්‍රමාණයක ආධාර දෙන්නට චීන ජනාධිපතිතුමා එකඟවුණා. මෙය විගසින් ම ලබාදෙන්නටයි කටයුතු කළේ.

අපි රාජ්‍යයන් දෙකක් විදියට අන්තවාදය හා ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් එක් ව කටයුතු කරන්නට, අභියෝග හමුවේ කටයුතු කරන්නට එකඟවුණා. ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක පිහිටි රටක්. මේ හරහා අපේ රටටත්, අපේ රට හරහා අනෙක් රටවල්වලටත් ත්‍රස්තවාදය ව්‍යාප්ත විය හැකියි. ඒ නිසා ඊට අවශ්‍ය වන බුද්ධිමය ආරක්ෂාව, තාක්ෂණික දැනුම ලබාගන්නට අපි එකඟ වුණා. මෙය කඩාවැටී ඇති විශ්වාසය, බලාපොරොත්තු ගොඩනගන්නට හේතු වෙනවා. ජනාධිපතිතුමා ඒ නායකයින් සමඟ සාකච්ඡා කරලා ගිවිසුම් වලට එළැඹුණා. ඒ නිසා මෙම චීන සංචාරය ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයකින් ලබාගත්තා වූ විශිෂ්ට ජයග්‍රහණයක් විදියටයි මා සළකන්නේ.

රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා

චිනයේ බිජිං නුවර ආසියානු රටවල් හතළිස් අටක සහභාගිත්වයෙන් ශිෂ්ටාචාර පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වුණා.

චින ජනාධිපති ෂින් ජින්පින් මැතිතුමාගෙන් අතිගරු ජනාධිපතිතුමාට විශේෂ ආරාධනයක් ලැබුණා, මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ජා කරන්න, ඒ සාකච්ජාව ඉතා සාර්ථකයි. මුලින් සාකච්ජාවේ දී අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපිට මොනවද අවශ්‍ය කියලා. ඒ සියල්ලම එතුමා ඉතා ඉහළින් පිළිඅරන් ඒ අවස්ථාවේ දී යුවාන් මිලියන 100 ක ආධාරයක් ලබා දෙන්න තීන්දු කළා. අපිට අවශ්‍ය ඉදිරි ආධාර පිළිබඳ නිලධාරීන් සමග සාකච්ජා කරලා, ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙනවා කියලා ඔහු ප්‍රකාශ කළා. ඒ වගේම පොලිසිය සඳහා එතුමා ජීප් රථ 100 ක් ලබා දීමටත් පොරොන්දු වූණා.

ඒ වගේම විශේෂයෙන් ඉදිරියේ දී ගුවන් තොටුපල සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ ලබාදීම සඳහා එතුමා කැමැත්ත ප්‍රකාශ කළා. එතුමා අපේ රට චිනයත් සමග තියෙන දිර්ඝ කාලීන බැඳීම තවදුරටත් ශක්තිමත් කළ යුතුයි කියලා ප්‍රකාශ කළා. ඉතා සාර්ථක සාකච්ජාවක් අතිගරු ජනාධිපතිතුමා සහ චින ජනාධිපතිතුමා අතර සිදු වුණා.

ඊට සමගාමී ව චිනයේ අග්‍රමාත්‍යතුමත් හමුවුණා. චිනයේ අග්‍රමාත්‍යතුමාත් එය සම්පුර්ණයෙන් සනාථ කළා. පොළොන්නරුවේ ඉදිවෙන වකුගඩු රෝහල ඉදිකිරීම පිළිබඳ සාකච්ජා කළා. ඒ වගේම 21 වෙනි දින පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයත් සමග සංචාරකයන් ගේ පැමිණීම පහළ වැටීම පිළිබඳව අපි සාකච්ජා කළා. විශේෂයෙන්ම එතුමාන්ලා ප්‍රකාශ කළා ලක්ෂ දෙක හමාරක් තුනක් අතර චින සංචාරකයන් ලංකාවට පැමිණෙන බව. එය ඉදිරියේ දී වර්ධනය කරගැනිම සම්බන්ධයෙන් චිනය පැත්තෙන් ගත හැකි ක්‍රියාමර්ග ගන්නා බව එතුමන්ලා ප්‍රකාශ කළා. මේ සංචාරයේ සාර්ථකත්වය වෙන්නේ චින ජනපති ෂින් ජින්පින් මැතිතුමා සහ අතිගරු ජනාධිපතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ජා පැයකට ආසන්න කාලයක් කරන්නට හැකි වීමයි.

ලෝකයේ ප්‍රධාන බලවතෙක් සමග අපේ ජනාධිපතිතුමා මුහුණට මුහුණ සාකච්ජා කරලා, අපේ රටට අවශ්‍ය ආධාර සහ ඉදිරි සහයෝගය ලබා ගැනීමට එතුමා පෙරොන්දු වීම අපේ රට ලබා ගත් සුවිශේෂ ජයග්‍රහණයක්.

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා

ජනාධිපතිතුමා කැබිනට් අමාත්‍යවරු සහ ආණ්ඩුකාරවරු සමඟ එක් ව අද චීනයේ කළ සංචාරය අතිශයින් ම වැදගත්. අපිට අප ගේ අපේක්ෂිත ඉළක්ක අරමුණු කරා මේ සංචාරයේ දි ළගාවෙන්නට හැකිවුණා. චීන ජනාධිපතිවරයා සහ චීන අගමැතිවරයා සමඟත් ආරක්ෂක අංශ සහ විදේශ අමාත්‍යංශය ඇතුළු ඉතාම තීරණාත්මක වැදගත්කමකින් යුතු අංශ සමඟ ද්විපාර්ශික සාකච්ඡා පවත්වන්නට මේ සංචාරයේ දී අවස්ථාව ලැබුණා. ලංකාවේ ත්‍රස්තවාදය මැඩලීම සදහා අවශ්‍ය තාක්ෂණික මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර විද්්‍යුත් උපකරණ, මෘදුකාංග සහ මුදල් මේ සංචාරයේදි අපට ලබා ගැනීමට හැකියාව ලැබුණා. චීනය ත්‍රස්තවාදය, වර්ගවාදය, ආගමික බෙදුම්වාදය ඉතාමත්ම සාර්ථක ව ජයගත් රාජ්‍යයක්. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් සහ ඒ සඳහා භාවිතා කරපු යන්ත්‍ර සූත්‍ර, මෘදුකාංග ඇතුළු දැනුම ශ්‍රී ලංකාව වෙත ලබාදීම සඳහා කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකා රජයට පොලිස් දෙපාර්තමේන්තුව සහ මේ ආරක්ෂක අංශ වලට විශේෂයෙන් අවශ්‍ය වන ජීප් රථ 100 ක්, ලබාදීමට මේ සාකච්ඡා වලදී එකඟතාවය ලැබුණා. වර්ගවාදී සහ වෛරී භාවිතයන් සහිත ප්‍රකාශන සහ ව්‍යාජ තොරතුරු පැතිරවීම පාලනය කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග මේ සංචාරයේ ප්‍රතිථලයක් විදියට ශ්‍රී ලංකාව වෙත ලැබෙනවා.

ඒ වගේම මෙයට පෙර සාකච්ඡා මට්ටමින් පැවතිලා ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා යොදා ගැනීමට නියමිත නාවික යාත්‍රාව ලබාදීම ඉදිරි මාසය තුළ සිදුවෙනවා ඇති. අපි පසුගිය දින වල අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණ දුන්නට පස්සේ අපි දැකපු දෙයක් තමයි ලංකා රජයට සහ මේ ආරක්ෂක අංශ වලට මේ සඳහා සටන් කිරීමට ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ වල හිඟයක් තිබණා. මෘදුකාංග සහ වාහන පවා විශාල වශයෙන් අඩු කමක් තිබුණා. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ජයගන්නට අවශ්‍ය දැනුම තාක්ෂණය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන හිතවතෙක් වන චීනය විසින් ලබලා දීලා තියෙනවා. පසුගිය යුද සමයෙදිත් චීනය තමයි හුඟක්ම තීරණාත්මක අවස්ථා වලදී එල්.ටී.ටී. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා, පරාජය කිරීම සඳහා තාක්ෂණික සහ යුධමය ආධාර අපිට ලබලා දුන්නේ. ඒ ආධාරයන් මේ අවස්ථාවේදි නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසීම ඉතාමත් වැදගත්. රුපියල් බිලියන 5 කට වැඩි වටිනා සම්පත් ද්‍රව්‍ය උපකරණ මේ සංචාරයේ ප්‍රතිථලයක් විදියට ශ්‍රී ලංකාවට ලැබෙනවා.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය