ඉඩම් කොල්ලය වැළැක්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග - ආරක්‍ෂක ලේකම්

ඔක්තෝම්බර් 15, 2020

අතීත නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීමේ අවස්ථා පිළිබඳ සඳහන් කරමින් අනාගතයේ දී රට තුළ ඉඩම් කොල්ලය සඳහා ඉඩක් නොමැති අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඉඩම් ද නීති විරෝධී ක්‍රියාවන්ට යොදාගන්නා බැවින් එම ස්ථාන පිළිබඳව සුපරීක්‍ෂාකාරී වන ලෙස ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

“ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තම බලය අනිසි ලෙස පාවිච්චි කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා” යනුවෙන් ආරක්‍ෂක ලේකම් අවධාරණය කළේය.

අපේ ප්‍රතිරූපයට හානිකර අපව අපකීර්තියට පත් කිරීම සඳහා අපට එරෙහිව කරන ලද අසත්‍ය ප්‍රචාරයන් නොසලකා රටේ අභිවෘද්ධිය උදෙසා අපගේ වැඩ කටයුතු කරගෙන යන බව මේජර් ජෙනරාල් ගුණරත්න නැවත අවධාරණය කළේය.

දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ නාරහෙන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්‍ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අද (ඔක්තෝබර් 15) දින පැවති රැස්වීමක් අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

මෑතදී කොරෝනා වයිරස් පැතිරීම පිළිබඳව අදහස් දක්වමින්, “ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝන වෛරසය පැතිරීමේ තත්ත්වය ආරම්භයේදීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් විසින් මගේ අවධානයට යොමු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස වැළැක්වීමේ පියවරයන් වහාම අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමට අපට හැකි වුනා”, යනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේය.

ආරක්‍ෂක හමුදා, සෞඛ්‍ය අංශය සහ රාජ්‍ය සේවයේ අදාළ පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව දිවයිනේ කොවිඩ් 19 තත්වය සාර්ථකව පාලනය කල අතර “රාජ්‍ය අංශයේ නිලධාරීන් විසින් ලබාදුන් සහය හේතුවෙන් ආරම්භක රැලි තුනම සාර්ථකව මැඩපැවැත්වීමට අපට හැකි වුනා” යැයි ඔහු පැවසීය.