වයඹ පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 78 දෙනෙකු අත්අඩංගුවට

මැයි 16, 2019

වයඹ පළාතේ විශේෂයෙන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය හා හලාවත යන පොලිස් කොට්ඨාශවල පසුගිය දින දෙක තුළදී සිදුවූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 78 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත. එම ප්‍රදේශවල ඇති සිසිටිවී කැමරා දත්ත අනුව මේ හා සම්බන්ධ අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය කරන අයවලුන් ද සිටී. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයන් විසින් ඔවුන් සිදුකල සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ගේ සේවා ස්ථාන ද දැනුවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය. ඔවුන් සබැඳිව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එම සේවා ස්ථාන වැඩිදුරටත් දැනුවත් කරන බවද ඔහු පැවසිය.

වයඹ පළාත තුල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 5500 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ. ඒ අනුව සාමාන්‍ය මහජන පැමිණිලි ලබාගැනීම සහ ක්‍රියාකිරීම, අධිකරණ කටයුතුවලට සහභාගී වීම, අපරාධ පරීක්‍ෂණ, රථවාහන රාජකාරි, නීති විරෝධී මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් වැටලීම් සහ ජාතික ආරක්‍ෂක කටයුතු මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ ප්‍රදේශවල නිතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ද මෙම පොලිස් නිලධාරින් යොදවා ඇත. ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවද මේ සඳහා ඉමහත් දායකත්වයක් ලබාදේ.

අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් කාන්තාවන් 8 දෙනෙකු ඇතුළු සැකකරුවන් 65 දෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන පරීක්‍ෂණ කටයුතු පවත්වයි. තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවේ පසුවෙති. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පැමිණි වෑන් රථය මිලදී ගැනීම සහ නැවත සකස් කිරීම සඳහා කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරෙන බෝම්බකරු සමග සම්බන්ධ පුද්ගලයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු නව කාත්තන්කුඩි හි පදිංචි මොහොමඩ් ආදම් ලෙබ්බේ නම් වන අතර ඔහු වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

ත්‍රස්තවාදී කණ්ඩායම විසින් පරිහරණය කරන ලද ආරක්‍ෂිත නිවාස 17 ක් පිළිබඳව ආරක්‍ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙම ආරක්‍ෂිත නිවාස මිගමුව කටුවාපිටිය, පානදුර සාරික්කමුල්ල, කොළඹ 03 ශාන්ත අන්තෝනි පාර, ගල්කිස්ස විහාර මාවත, වනාතවිල්ලුව, වත්තල එඩේරමුල්ල, කොළඹ 06 මයුර පෙදෙස, සයින්දමරුදු 9, මල්වාන, තිහාරිය කලගෙඩිහේන, කොච්චිකඩේ දළුවකොට්ටුව, වාලච්චේන රිදියතැන්න, කුලියාපිටිය සුභාරතිපුරම්, හෙට්ටිපොල, කටුපොත, සමන්තුරේ නින්දවූර් යන ප්‍රදේශවල පිහිටා ඇත. මීට අමතරව, වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, මහනුවර අරුප්පොල, මල්වාන, කාත්තන්කුඩි සහ වාලච්චේන යන ස්ථාන 7 ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා යොදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

නීති විරෝධී ලෙස ළඟ තබාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය නැවත බලධාරීන් වෙත භාර දීමට පනවා ඇති කාල සීමාව මැයි මස 20 වන දින පෙ.ව. 06.00 දක්වා දීර්ඝ කර ඇත. බලපත්‍ර රහිතව හෝ නීති විරෝධිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන ඇත්නම් ළගම පිහිටි පොලිස් ස්ථානයට හෝ තම ප්‍රදේශයේ ඇති ප්‍රජා පොලිස් ඒකකය වෙත දැනුම් දිය හැකිය. එසේ දැනුම්දෙන ලද පුපුරණ ද්‍රව්‍ය පොලිස් ස්ථානයේ නිලධාරින් පැමිණ රැගෙන යාමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ලබාදී ඇති කාලසීමාව ඉකුත්වූ පසු එවැනි පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කරනු ලැබේ.