නව ගුවන් හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 04, 2020

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සම්ප්‍රදායට අනුකූලව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (නොවැම්බර් 04) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස් විශ්‍රාම ගැනීමෙන් පසුව එයාර් මාෂල් පතිරණ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පසුගිය සඳුදා (02) පත් කරන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදුවිය.

එයාර් මාෂල් පතිරණ 1985 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 14 වන කෙඩෙට් නිලධාරි පාඨමාලාවට එක්ව දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ දී  මූලික පුහුණුව ලබා ඇත.

ඔහු ශ්‍රී ලංකාවේ සුපර් සොනික් ගුවන් යානා පියාසර කළ පළමු ගුවන් නියමුවන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර, පසුව ගුවන් හමුදාවේ අංක 5 සහ 10 යන  ප්‍රහාරක බලඝනයන්හි අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත.

එයාර් මාෂල් පතිරණ බංග්ලාදේශයේ අණ හා මාණ්ඩලික හා පුහුණු ආයතනයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි ගුවන් විශ්ව විද්‍යාලයෙන් මෙහෙයුම් කලාව හා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත් පළමු ගුවන් හමුදා නිලධාරියා ඔහු වේ.

ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (ආරක්ෂක අධ්‍යයන) ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.

“එන්ඩීසී” සම්පූර්ණ කිරීමෙන් පසු ඔහුට 2012 දී චෙන්නායි විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනමන ලදි.

ඔහුගේ කීර්තිමත් සේවය අගයමින් “විශිෂ්ඨ  සේවා විභූෂණය ” සහ “උත්තම  සේවා පදක්කම” යන පදක්කම් පිරිනමා ඇත. තවද, මානුෂීය මෙහෙයුම් වලදී ඔහු කළ විශිෂ්ට හා පරාර්ථකාමී දායකත්වය වෙනුවෙන් “වීර වික්‍රම විභූෂණය” පදක්කම දෙවරක් ද, “රණ වික්‍රම පදක්කම” දෙවරක් සහ “රණශූර  පදක්කම” අවස්ථා හතරකදී පිදුම් ලබා ඇත.

ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමට පෙර එයාර් මාෂල් පතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කර ඇත.