මාලදිවයින් ආරක්‍ෂක ඇමතිවරිය ආරක්‍ෂක ලේකම් හමුවේ

නොවැම්බර් 27, 2020

මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍ය ගරු. මාරියා දීදි මැතිනිය ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා  අද (නොවැ. 27) අමාත්‍යාංශයේදී දී හමුවිය.

මෙම සැසිවාරයේදී ද්වීපාර්ශ්වික වැදගත්කම සහිත අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා මාලදිවයින් ආරක්‍ෂක ඇමතිනිය සමඟ සාකච්ඡා කළේය.

මේ අතර, ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රවේශය, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

දෙරට අතර ආරක්ෂක සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රකාශ කළේය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නොවැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිත සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවට සහභාගීවීම සඳහා මාලදිවයින් ආරක්ෂක ඇමතිවරිය කොළඹට පැමිණ තිබේ.

ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.