පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 410 ක්

නොවැම්බර් 28, 2020

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 473 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,500 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් එක් අයෙක් හැර අනෙක් සියලුදෙනාම දේශීය ආසාදිතයින් වන අතර ඉන් 138 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 63 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද  සහ 35  ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19,431 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 12,793 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (25) PCR පරීක්‍ෂණ 13,286 ක් සිදුකර ඇති අතර අද උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 410 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, දෝහා කටාර්හි  සිට පුද්ගලයින් 44 ක් සහ  ඉන්දියාවේ සිට පුද්ගලයින් 53 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

අද වන විට ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක පුද්ගලයින් 5,088 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා  මරණ 08 සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.