වසංගතය හේතුවෙන් රටට සෙත් පතා සති තුනක් පුරා පැවති පිරිත් සජ්ඣායනය අදින් අවසන්

දෙසැම්බර් 09, 2020

කොරෝනා වෛරස වසංගතයෙන් මිදීම සඳහා රටට ආශිර්වාද කිරීම වෙනුවෙන් නිදහස් චතුරශ්‍රයේ පැවති සති තුනක අඛණ්ඩ පිරිත් සජ්ඣායනය අද උදෑසන (දෙසැම්බර් 09) සාර්ථකව අවසන් කෙරිණි.

පැතිර යන වසංගතයෙන් ආරක්ෂා වීම උදෙසා ආසාදිත පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින්, සමස්ත ශ්‍රී ලාංකිකයන් සහ ලෝකවාසීන් වෙත ආගමික ආශිර්වාද ලබා දෙන ලදී.

අද අලුයම පැවති දානමය පිංකමට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද සහභාගී විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය නොවැම්බර් 18 වන දින ආරම්භ කරන ලද අතර මහා සංඝරත්නය  විසින් රතන සූත්‍රය, ගිනි පිරිත සහ ජය පිරිත සජ්ඣායනය කරන ලදි.

අතීතයේ සිටම අප සමාජය නපුරු බලපෑම්වලින් හා වසංගතවලින් ආරක්ෂා කිරීම සඳහා බලවත් ආරක්ෂණ පියවරක් ලෙස රතන සූත්‍ර සජ්ඣායනය යොදා ගෙන ඇත.

ඉන්දියාවේ විශාලා මහනුවර  පැවති තුන්බිය දුරු කිරීම සඳහා මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනය කර තිබේ.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරන, දානපතියන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, බැතිමතුන් සහ සෙසු  නිලයන් සහභාගී වූහ.