ආරක්‍ෂක ලේකම් තුමාගේ නව අවුරුදු පණිවුඩය 2021

ජනවාරී 01, 2021

සුභ උදෑසනක් වේවා

උදාවු නව වසර සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට සාමය සතුට සෞභාග්‍ය පිරි නිරෝගිමත් නව වසරක් වේවායි ඉත සිතින් යුතුව මා ප්‍රාර්ථනා කරනවා.

පසුගිය වසර තුල ඇතිවූ කොවිඩ් -19 වෛරසයේ බලපෑම මුළු ලෝකයටම දරුණු ලෙස අත්විදින්නට වූ පරිසරයක ශ්‍රී ලංකාවාසි අප සියලු දෙනා එක්ව ඉතා සාර්ථක ලෙස එහි බලපෑම මැඩපවත්වා, එය අවම මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි.  

උදාවූ 2021 නව වසර සියලු ශ්‍රී ලාංකිකයින්හට රෝග පීඩා වලින් තොර නිදහසේ ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් ඇති කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

කොතෙකුත් බාධක පැමිණියද සිය මාතෘභූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික ආදී සෑම ක්ෂේත්‍රයකම නව යුගයක් උදාකිරීම සදහා අප ගෙනයන වැඩපිළිවෙල මෙම නව වසරේදීත් එලෙසින්ම ක්‍රියාත්මක කරගෙන යාම අප සැමගේම ඒකායන අධිෂ්ඨානය විය යුතුයි.

විනයගරුක සමාජයක් තුල ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව වන බව අප දන්නවා. එම අරමුණ මුදුන්පත් කර ගැනීමට මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, අන්තවාදය සහ පාතාල ක්‍රියාකාරකම් රටින් මුලිනුපුටා දැමීම සදහා දැනටමත් අප සිදුකරගෙන යන වැඩපිළිවෙල අදාල සියලු පාර්ශවකරුවන් සම්බන්ධකරගෙන ඉතා පුළුල් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක කරගෙන යාම මේ වසරේදී අපගේ පරම අධිෂ්ඨානයි.

එසේම පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරමින්, ඒවා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල ඉදිරියටත් සිදුකරන බව මා අවධාරණය කරනවා.

පසුගිය වසරේදී ලබාගත් අත්දැකීම්ද සැලකිල්ලට ගෙන නව වසරේ අපගේ ඉලක්කයන් මුදුන් පමුනුවා ගැනීම සදහා නොපැකිලව නොපිරිහෙලා කටයුතු කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර නව වසර උදාවත් සමග ජන හදවත් තුල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල වඩාත් පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි, මාගේ ප්‍රාර්ථනයයි.

අවසන් වශයෙන්, සමස්ථ ශ්‍රී ලංකාවාසි ජනතාවටත්, අප දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුම වන සුභ නව වසරක් වේවායි මම ඉතසිතින් යුතුව ප්‍රර්ථනා කරනවා.