නීතිවිරෝධී කහ කිලෝ 8700 කට අධික ප්‍රමාණයක් වයඹ දිග මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ජනවාරී 11, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වයඹ මුහුදේ මෑතකදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වියළි කහ කිලෝග්‍රෑම් 8700 කට අධික ප්‍රමාණයක් සමඟ විදේශිකයින් 12 දෙනෙක් අත්අඩංගුවට ‌ගෙන ඇත.

වයඹ නාවික විධානය මගින් ජනවාරි මස 08 වන දින කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩව් යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර සිදුකළ පරික්‍ෂාවේදී උර 173 ක අසුරන ලද මෙම නීති විරෝධී කහ තොගය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

කහ තොගය සමග අත්අඩංගුවට ගත් අවුරුදු 19 සිට 70 දක්වා වයස්වල පසුවන විදේශ ජාතිකයන් 12 දෙනා සහ ඩෝව් යාත්‍රා 02 ක නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් -19 වැළැක්වීම සදහා වන සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

මේ අතර වියළි කහ තොගය ඇතුළු අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දියානු ඩෝව් යාත්‍රාවන් විමර්ශන කටයුතු සඳහා භාර දෙන තෙක් තම භාරයේ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.