ආරක්‍ෂක මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් 73 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව පැවැත්වේ - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 20, 2021
  •      දැඩි සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් 73 වන නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන බවට ආරක්‍ෂක ලේකම් සහතික වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් හා ජාතියේ අභිමානය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

රට තුල පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් උත්සවය සඳහා එක්වන ආරාධිතයින්, පාසල් ළමුන් සහ සහභාගීවන භට පිරිස් සීමා කරන බව ඔහු පැවසීය.   

“මෙම අවස්ථාවට සහභාගී වන අය සඳහා ප්‍රතිදේහජනක පරීක්‍ෂණ සහ PCR පරීක්‍ෂණ කල්තියාම පවත්වනු ලබන බැවින් ආරක්‍ෂාව පිළිබඳව බිය නොවිය යුතු බව” උත්සවයට සහභාගී වන අයගේ ආරක්‍ෂාව පිළිබඳව සහතික වෙමින් ජෙනරාල් ගුණරත්න මහතා තවදුරටත් පැවසීය.

එළඹෙන 73 වන නිදහස් දින සැමරුමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අද (ජනවාරි 20) දින නිදහස් චතුරශ්‍රයේ පැවති රැස්වීමකදී ආරක්‍ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

නිදහස් දින උත්සවය ක්‍රමවත්ව පැවැත්වීම සම්බන්ධව සියලු කරුණු මෙහිදී සාකච්ඡා කළ අතර ආරක්‍ෂක ලේකම් විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ රාජ්‍ය නිලධාරීන්ට උත්සවය සඳහා ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.   

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරන, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජේ. ධර්මරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.