පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වු ව්‍යාපාරිකයන්ට සහන සැලසීම විධිමත් සහ කඩිනම් කරන්න – ජනපතිගෙන් අදාළ ආයතනවලට උපදෙස්

ජුලි 05, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්‍ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත්ව සහ කාර්යක්‍ෂමව ක්‍රියාවට නංවමින් එම ව්‍යාපාරික ප්‍රජාව නැවත ගොඩනැංවීමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංගමයේ නියෝජිතයන් සමඟ අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සංචාරක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු ආදළ ආයතනවල ප්‍රධානින් ද මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර, ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින අසීරුතාවයන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු, බදු වර්ග ගණනාවක් හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති අසීරුතා සහ පෞද්ගලික මූල්‍ය සමාගම්වල හැසිරීම ඇතුළු ගැටලු ගණනාවක් මෙහි දී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම ව්‍යාපාරිකයන්ට සහන ලබාදිම වෙනුවෙන් අමාත්‍ය අනුකාරක සභාවක් ද පිහිටුවා මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මඟින් අදාළ උපදෙස් නිකුත් කළ ද ඉන් පහළ ආයතනවල එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ ගැටලුව පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අදාළ අමාත්‍ය අනුකාරක සභාව සමග මෙන්ම ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී ද මේ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත් කරන බවයි.

සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද, මුදල් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය මහබැංකුව ඇතුළු ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංගමයට අයත් සංගම් 30ක් නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය